ලෝකයේ විශාලතම වත්කම් කළමනාකරණ සමාගම වන BlackRock හි ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක් (Larry Fink) පවසන්නේ, බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 150 සීමාව ඉක්මවුවහොත් එය ගෝලීය ආර්ථික පසුබෑමක් (Global Recession) කරා ලෝකය මෙහෙයවනු ඇති බවයි. බීබීසී පුවත් සේවය සමඟ පැවැති සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ඉරානය දිගින් දිගටම තර්ජනයක් ලෙස පවතින්නේ නම්, ඉදිරි වසර කිහිපය තුළ තෙල් මිල ඩොලර් 100 සීමාවෙන් ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.
ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 14ක වත්කම් පාලනය කරන BlackRock සමාගමේ ප්‍රධානියා මෙහිදී අවධාරණය කළේ ඉහළ යන බලශක්ති පිරිවැය ලෝක ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන බවයි. මීට අමතරව කෘතිම බුද්ධිය (AI) පිළිබඳව ද අදහස් දැක්වූ ඔහු, එහි පවතින්නේ “බුබුලක්” (AI Bubble) නොවන බවත්, එම තාක්ෂණය නිසා බොහෝ පිරිසක් තාක්ෂණික පුහුණුවට වඩා විශ්වවිද්‍යාල උපාධි හඹා යාම ගැටලුසහගත බවත් ප්‍රකාශ කළේය.
මැදපෙරදිග පවතින අස්ථාවරත්වය හේතුවෙන් තෙල් සැපයුම් මාර්ගවලට එල්ල වන බලපෑම හමුවේ, ශ්‍රී ලංකාව වැනි රටවලට ද ඉන්ධන මිල කළමනාකරණය කර ගැනීම අභියෝගයක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය වාතාවරණය බොරතෙල් මිල කෙරෙහි සෘජුවම බලපාන බැවින් ඉදිරි මාස කිහිපය ලෝක ආර්ථිකයට ඉතා තීරණාත්මක වනු ඇත.














