නවසීලන්ත ක්‍රීඩකයින්ගේ එකඟතාව
2026 ෆිෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක වටයේදී ඉරානය සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරගය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව හමුවේ, එම තරගය අමෙරිකා එක්සත් ජනපදයෙන් බැහැරව පැවැත්වීමට තමන් සූදානම් බව නවසීලන්ත පාපන්දු ක්‍රීඩකයින් අද (2026 මාර්තු 25) ප්‍රකාශ කර තිබේ.
දෙරට අතර තරගය එළඹෙන ජුනි 15 වනදා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණද, පවතින අමෙරිකා-ඉරාන යුදමය තත්ත්වය හේතුවෙන් අමෙරිකානු භූමියේදී ක්‍රීඩා කිරීම ඉරාන පාපන්දු සම්මේලනය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මේ හේතුවෙන් ඉරානය තරගාවලිය වර්ජනය කිරීමේ තර්ජනයක් ද මතු වී තිබේ.
නවසීලන්ත මධ්‍ය පෙළ ක්‍රීඩක රයන් තෝමස් (Ryan Thomas) පවසන්නේ ඉරානය දක්ෂතාවයෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇති බැවින් ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි විය යුතු බවයි. අවශ්‍ය වුවහොත් මෙම තරගය මෙක්සිකෝවේ හෝ කැනඩාවේ පැවැත්වීමට නවසීලන්තය විරුද්ධ නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂෙයින්බෝම් (Claudia Sheinbaum) ද මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉරානයේ තරග සඳහා සත්කාරකත්වය ලබා දීමට තම රට සූදානම් බවයි. කෙසේ වෙතත්, තරගය පැවැත්වෙන ස්ථානය වෙනස් කිරීම පිළිබඳ අවසන් තීරණය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ගත යුතුව ඇත.














