ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කාර්යබහුල අන්තර් ප්‍රාන්ත මහාමාර්ගයක (Interstate 4) මිසයිල දෙකක් පටවාගත් ට්‍රක් රථයක් ගමන් කරන බවට ලැබුණු තොරතුරු මත පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. ටැම්පා නගරයට සැතපුම් 25ක් පමණ නැගෙනහිරින් පිහිටි ප්ලාන්ට් සිටි (Plant City) ප්‍රදේශයේදී ෆ්ලොරිඩා මහාමාර්ග මුර සංචාරක පොලිසිය (Florida Highway Patrol) විසින් අදාළ ෆෝඩ් (Ford) වර්ගයේ ට්‍රක් රථය නවතා පරීක්ෂාවට ලක් කරන ලදී.
පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ එම ට්‍රක් රථයේ පිටුපස සවිකර තිබූ මිසයිල සැබෑ අවි නොවන බවයි. ඒවා විවිධ ප්‍රදර්ශන සහ උත්සව සඳහා භාවිත කරන ප්ලාස්ටික්වලින් නිමවූ ආකෘති (Plastic devices for show) බවත්, එමගින් මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවත් බලධාරීන් පසුව තහවුරු කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රියදුරුට එරෙහිව නීතිමය පියවර ගෙන නොමැති වුවද, මෙවැනි දෑ ප්‍රවාහනය කිරීමේදී වඩාත් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසට පොලිසිය ඔහුට දැඩි ලෙස අවවාද කර තිබේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙවැනි දර්ශන නිසා මහාමාර්ගයේ ගමන් කළ අනෙකුත් රියදුරන් දැඩි බියට පත්වී ඇති බව ද වාර්තා වේ.














