යුරෝපය පුරා උග්‍ර වෙමින් පවතින නිවාස අර්බුදයට විසඳුම් සෙවීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව විසින් ප්‍රථම වතාවට සවිස්තරාත්මක “නිවාස මාර්ග සිතියමක්” (Housing Roadmap) අද (2026 මාර්තු 25) අනුමත කර තිබේ. විශේෂ නිවාස කමිටුවේ නිර්දේශ මත පදනම්ව මන්ත්‍රීවරුන් 367කගේ එකඟතාවයෙන් සම්මත වූ මෙම වාර්තාව මගින් යුරෝපා සංගමය පුරා පවතින නිවාස හිඟය සහ සීඝ්‍රයෙන් ඉහළ යන කුලී මිල පාලනය කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇත. යුරෝපය පුරා මේ වන විට නිවාස මිලියන 10ක පමණ හිඟයක් පවතින අතර වසරකට අලුතින් නිවාස මිලියන 2.25ක් අවශ්‍ය බව යුරෝපා ආයෝජන බැංකුව (EIB) පවසයි. සමස්ත යුරෝපා සංගමය තුළ නිවාස කුලී මිල 30% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර මෙම අර්බුදය විසඳීම සඳහා වසරකට යුරෝ බිලියන 150කට අධික ආයෝජනයක් අවශ්‍ය බව ද ගණන් බලා තිබේ.
යුරෝපා කොමිසම විසින් “Affordable Housing Plan” යටතේ යුරෝ බිලියන 10ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇති අතර තවත් යුරෝ බිලියන 43ක් විවිධ අරමුදල් හරහා යෙදවීමට සැලසුම් කර ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් රාජ්‍ය නිවාස ඉදිකිරීම් සඳහා පවතින නීතිමය බාධා ඉවත් කිරීම, පළමු වරට නිවාස මිලදී ගන්නන් සඳහා බදු සහන ලබා දීම සහ අවසර පත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය දින 60ක් දක්වා කෙටි කිරීම වැනි නිර්දේශ ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් නිවාස සම්බන්ධ අවසන් තීරණ ගැනීමේ බලය තවමත් පවතින්නේ අදාළ රටවල ප්‍රාදේශීය ආණ්ඩුවලට බැවින් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතු විය හැකි බව විචාරකයෝ පවසති. විශේෂයෙන්ම කෙටි කාලීන නවාතැන් පහසුකම් පාලනය කිරීම සහ නිවාස නොමැති පුද්ගලයින් සඳහා සහන සැලසීම මෙහි ප්‍රමුඛ කාර්යයක් වනු ඇත. යුරෝපා සංගමයේ මෙම නව මැදිහත්වීම නිවාස අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමේ වැදගත් පියවරක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.













