මෙරට සිනමා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ “ගැහැනු ළමයි” චිත්‍රපටය රූගත කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ දර්ශනයක් කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේදී අද (මාර්තු 25) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මිය විසින් තිර රචනය කරමින්, සංස්කරණය සහ අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමා නිර්මාණය සිංහල සිනමාවේ ස්ත්‍රීවාදී ප්‍රවේශයක සන්ධිස්ථානයක් ලෙස සැලකේ. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම උපහාර වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම සුවිශේෂී අවස්ථාවට “ගැහැනු ළමයි” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ශාමා ආනන්ද, ඉන්ද්‍රානි අබේවර්ධන සහ සහාය අධ්‍යක්ෂ උපාලි පෙරේරා යන මහත්ම මහත්මීන් එක්ව සිටීම විශේෂත්වයකි. එසේම සුමිත්‍රා පීරිස් මහත්මියගේ සොහොයුරු රංජිත් ගුණවර්ධන සහ ඥාති සොහොයුරු හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම දර්ශනය නැරඹීමට පැමිණ සිටියහ. අඩසියවසකට පෙර නිර්මාණය වූ මෙම සිනමා කෘතිය වර්තමාන පරපුරට ද රසවිඳිය හැකි ආකාරයට මෙලෙස ප්‍රදර්ශනය කිරීම සිනමා ලෝලීන්ගේ ඇගයීමට ලක්විය.














