මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ “දුර්ලභ සහ හදිසි” විවාදයක් මේ වන විට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වී තිබේ. බහරේනය සහ ගල්ෆ් කලාපීය රටවල් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම හදිසි සැසිය කැඳවා ඇත්තේ, ඉරානය විසින් සිවිල් ගොඩනැගිලි සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හෙළා දකිමිනි.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුම්වලට අදට (මාර්තු 25) දින 26ක් සපිරෙයි. මෙම දරුණු ගැටුම් මැද ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ද ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ඇමෙරිකාව විසින් අතිරේක හමුදා භටයින් 2,000ක් පමණ කලාපය වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති අතර, ගෝලීය බලශක්ති සැපයුමට තීරණාත්මක බලපෑමක් එල්ල කරමින් “හෝමූස් සමුද්‍ර සන්ධිය” වසා දැමීමට ද පියවර ගෙන තිබේ. සතුරු නොවන නෞකා සඳහා පමණක් එය විවෘතව තැබීමට ඉරානය තීරණය කර ඇතත්, මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර වෙළෙඳාමට දැඩි තර්ජනයක් වී ඇත. ඒ අනුව, මානව හිමිකම් කවුන්සිලයේ මෙම හදිසි විවාදයේදී සිවිල් වැසියන්ගේ ආරක්ෂාව, බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර සහ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.














