ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය ආසියාවේ වාහන අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ ජපානය සහ දකුණු කොරියාවේ සිට ඩුබායි වරාය බලා ප්‍රවාහනය කෙරුණු ලැම්බෝගිනි, රොල්ස් රොයිස් සහ ෆෙරාරි වැනි අති සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන තොගයක් ශ්‍රී ලංකාවේ වරායන් තුළ සිරවී තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අවදානම නිසා නෞකා ගමනාගමනය අඩාල වීමෙන් ඩුබායි වෙත ළඟා වීමට නොහැකි වූ භාණ්ඩ ප්‍රවාහන නෞකා හම්බන්තොට වරාය වැනි විකල්ප ස්ථාන කරා යොමු කිරීම මෙයට හේතුවයි.
හම්බන්තොට වරාය ඇතුළු මෙරට වරාය පරිශ්‍රයන්හි ඉඩකඩ සීමා වීම නිසා වාහන 500ක් පමණ රැගත් නෞකාවකට දින 10කට වඩා වැඩි කාලයක් මුහුදේ රැඳී සිටීමට සිදු වූ බවත්, පසුව එය ගොඩබෑමට පියවර ගත් බවත් වාර්තා වේ. ජපානයේ ‘කෝබේ මෝටර්’ ආයතනය පවසන පරිදි මැදපෙරදිග පාරිභෝගිකයන් වෙනුවෙන් ඇණවුම් කළ සුඛෝපභෝගී වාහන 50ක් පමණ දැනට ශ්‍රී ලංකාවේ සහ චීනයේ වරායන්හි අතරමං වී ඇත. මේවා ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට හැකියාව තිබුණද ඒ සඳහා වැය වන අධික පිරිවැය ප්‍රායෝගික ගැටලුවක් වී තිබේ.
යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම නිසා නැව් ගාස්තු ද ඉහළ ගොස් ඇති අතර දකුණු කොරියාවේ අපනයනය කිරීමට නියමිතව තිබූ වාහනවලින් 70%ක් පමණ දැනටමත් එරට ගබඩා සංකීර්ණවල ගොඩගැසී පවතී. අපනයනකරුවන්ට මෙම වාහන රඳවා තබා ගැනීම වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ ගණනාවක අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇත. අප්‍රිකාව හෝ ලතින් ඇමෙරිකාව වැනි විකල්ප වෙළඳපොළවල් සොයා ගැනීමට උත්සාහ කළද එම කලාපවල පවතින අඩු ඉල්ලුම නිසා මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් නොමැති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.














