හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැති මාසික සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය. රැස්වීම ආරම්භයේදීම සභාපතිවරයා අවධාරණය කළේ නගර සභාවේ නිලධාරිනියකට මන්ත්‍රීවරයෙකු විසින් සිදුකළ බව කියන අපහාසාත්මක බැණ වැදීමක් හේතුවෙන් නිලධාරීන් පිරිසක් සභා වාරය වර්ජනය කර පිටත රැඳී සිටින බවයි. සභාව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන්ට සහ නිලධාරිනියන්ට නිසි ගෞරවය ලබාදිය යුතු බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී අලගමුත්තු නන්දකුමාර් මහතා චෝදනා කළේ ප්‍රදේශයේ පවතින දැඩි පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පැවැත්වූ සාකච්ඡා සඳහා විපක්ෂයට ආරාධනා නොකළ බවයි. වසර ගණනාවක පළපුරුද්දක් ඇති තමා වැනි මන්ත්‍රීවරුන්ගේ යෝජනා ක්‍රියාත්මක නොකරන බවත්, ජනතාවට වගකීමට ඇති ඉඩකඩ අහුරා ඇති බවත් පවසමින් ඔහු දැඩි විරෝධය පළ කළේය. “මේ වගේ කාලකණ්නි නගර සභාවේ රැස්වීමේ රැඳී ඉන්න මම කැමති නෑ” යනුවෙන් ප්‍රකාශ කරමින් ඔහු සභා ගැබෙන් පිටව ගියේය.
නන්දකුමාර් මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සභාපති අසෝක කරුණාරත්න මහතා සඳහන් කළේ තම පාලනය කාලකණ්නිද නැද්ද යන්න ඉදිරි වසර හතර තුළ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන බවයි. පසුගිය පාලන කාලය තුළ නගර සභාවේ ජල ටැංකි කඩා ගොඩනැගිලි ඉදි කිරීමට අවසර දීම, නළ ළිං වැසීම සහ තානායම් ගොඩනැගිල්ල ගිනි ගැනීම වැනි දූෂණ වංචා රැසක් සිදුව ඇති බවත්, ඒවා සෙවීමට කොමිසමක් පත් කරන බවත් ඔහු පැවසීය. මේ අතර නන්දකුමාර් මහතා භාවිතා කළ “කාලකණ්නි” යන වචනය සභාවට අපහාසයක් බව පවසමින් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ජාතික ජන බලවේගයේ අනෙකුත් මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ.














