මීට පෙර කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඉල්ලා සිටි ඇමරිකා එක්සත් ජනපදය දැන් සාම සාකච්ඡා සඳහා ඇරයුම් කිරීම ඔවුන් ලැබූ පරාජයක් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබේ. ඉරාන රජයේ රූපවාහිනී සේවය (IRIB) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ වොෂින්ටනය සිය දැඩි ස්ථාවරය වෙනස් කර සාකච්ඡා සඳහා උනන්දුවක් දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ පසුබෑම බවයි.
පසුගිය දින කිහිපය තුළ මිත්‍රශීලී රටවල් කිහිපයක් හරහා ඇමරිකාව ටෙහෙරානය වෙත පණිවිඩ කිහිපයක් එවා ඇති බවද අරග්චි අනාවරණය කළේය. කෙසේ වෙතත් මෙම සන්නිවේදනයන් කිසිසේත්ම නිල මට්ටමේ සාකච්ඡා හෝ සංවාද ලෙස හැඳින්විය නොහැකි බවත් ඒවා හුදෙක් පණිවිඩ හුවමාරුවක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඇමරිකාව විසින් එවන ලද එම පණිවිඩ වල අන්තර්ගතය මේ වන විට ඉරානයේ ඉහළ බලධාරීන් වෙත යොමු කර ඇති බවද විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.
CNN පුවත් සේවය වාර්තා කරන පරිදි ඉරානය පවසන්නේ තමන් කිසිදු විටෙක බලපෑම් හමුවේ නම්‍යශීලී නොවන බවයි. ඉදිරියේදී යම් ස්ථාවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව ඉහළ නායකත්වය විසින් තීන්දුවක් ගනු ඇති බව අරග්චි මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ඇමරිකාවේ මෙම නව ප්‍රවේශය මැදපෙරදිග කලාපීය දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇති බවට විදේශීය විශ්ලේෂකයෝ මත පළ කරති.














