අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැක්‍රමෙන්ටෝ (Sacramento) නුවර ඕක් පාර්ක් (Oak Park) ප්‍රදේශයේ ඊයේ (2026 මාර්තු 25) සන්ධ්‍යාවේ සිදුවූ වෙඩි තැබීමකින් සිව් හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. ප්‍රදේශයේ වේලාවෙන් පස්වරු 6.00 ට පමණ 9 වන වීදියේ 3300 බ්ලොක් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සැක්‍රමෙන්ටෝ පොලිසිය තහවුරු කරයි.
තුවාල ලැබූවන් අතර පිරිමින් දෙදෙනෙකු සහ එක් කාන්තාවක සිටින අතර ඔවුන් සියලු දෙනාම වහාම රෝහල් ගත කර ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. පොලිස් පරීක්ෂණවලට අනුව තුවාල ලැබූ තිදෙනෙකු එකිනෙකා හඳුනන පුද්ගලයින් වන නමුත් සිව්වන පුද්ගලයා නිවසක් තුළ සිටියදී වෙඩි වැදීමට ලක්ව ඇති අතර අනෙක් පිරිස සමඟ ඔහුට කිසිදු සම්බන්ධයක් නොමැති බව අනාවරණය වී ඇත.
මෙම වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැක්‍රමෙන්ටෝ පොලිසිය ප්‍රදේශය වටලා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට ලබාගත් බියකරු දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර අමෙරිකාව තුළ පවතින ගිනි අවි ප්‍රචණ්ඩත්වය පිළිබඳව මෙහිදී නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.














