පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටිමින් දිවයින පුරා ව්‍යාපාරිකයන් බියගන්වා මුදල් කොල්ලකෑ 31 හැවිරිදි සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. අද (25) සවස ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය අසලදී සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 620ක් පොලිස් භාරයට ගෙන ඇත. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම්, සොරකම් සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතව සිටි අයෙකි.
අම්බලන්ගොඩ, රත්නපුර, හොරණ සහ ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ රැසක හෝටල් සහ අවන්හල් හිමියන් ඉලක්ක කරගනිමින් WhatsApp තාක්ෂණය ඔස්සේ ඇමතුම් ලබා දෙමින් මොහු මෙම ජාවාරම මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. වලාන දූෂණ මර්ධන ඒකකයේ නම භාවිතා කරමින් ව්‍යාපාරිකයන් බියගන්වා අයථා ලෙස මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් ලද තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ගෙන් යම් තර්ජනයක් හෝ බලපෑමක් එල්ල වන්නේ නම් වහාම 118 හෝ 119 හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














