ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ ආරම්භ කළ යුද්ධය සිව්වන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, මැදපෙරදිග කලාපයේ පවතින අතිශය වැදගත් සංස්කෘතික සහ ඓතිහාසික ස්ථාන රැසක් විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇති බව යුනෙස්කෝ (UNESCO) සංවිධානය පවසයි. යුධ ගැටුම් මධ්‍යයේ වුවද ජාත්‍යන්තර නීතියට ගරු කරමින් මෙම ඓතිහාසික උරුමයන් ආරක්ෂා කරන ලෙස යුනෙස්කෝව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින අතර, පවතින තත්ත්වය පිළිබඳව මැදපෙරදිග රටවල් රැසක් සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ගොලෙස්තාන් මාලිගය (Golestan Palace) වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් එම යුනෙස්කෝ ලෝක උරුමයට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම එහි ඇති අලංකාර කැඩපත් සහිත සිවිලිම්, ජනෙල් සහ ආරුක්කු මෙලෙස විනාශ වී ඇති අතර, එය ඓතිහාසික උරුමයක් ලෙස සැලකෙන ‘කාජර්’ (Qajar) යුගයට අයත් මාලිගයකි. මීට අමතරව ඉස්ෆහන් නගරයේ පිහිටි 17 වන සියවසට අයත් චෙහෙල් සෝටවුන් මාලිගයට (Chehel Sotoun Palace) ද ප්‍රහාර හේතුවෙන් අභ්‍යන්තර හානි සිදුව ඇති අතර එය ද යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන ‘පර්සියානු උද්‍යානයේ’ (Persian Garden) කොටසකි.
ලෙබනනයේ පෞරාණික ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ද යුනෙස්කෝ සංවිධානය එරට බලධාරීන් සමඟ හදිසි සාකච්ඡා පවත්වා ඇති අතර, හානි විය හැකි ස්ථානවල භූගෝලීය දත්ත පවා යුද හමුදා වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. සමාජයක සංස්කෘතික පදනම විනාශ වීම එම ජාතියේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කරන බැවින්, මෙම ඓතිහාසික ස්ථාන යුධ ඉලක්ක බවට පත් කර නොගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව සියලු පාර්ශවයන්ගෙන් බලකර සිටියි.














