යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය “එකපාර්ශ්වික සහ අසාධාරණ” එකක් බව ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. පකිස්ථානය හරහා ඉරානය වෙත යොමු කරන ලද මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඉරාන උත්තරීතර නායකයාගේ නියෝජිතයන් විසින් පසුගිය බදාදා රාත්‍රියේ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, එහිදී තීරණය වී ඇත්තේ මෙම යෝජනා සාර්ථක කර ගැනීමට අවශ්‍ය අවම අවශ්‍යතාවලින් පවා තොර බවයි. වොෂින්ටනය වඩාත් යථාර්ථවාදී ලෙස කටයුතු කරන්නේ නම් ඉදිරි මාවතක් සොයා ගැනීමට තවමත් අවස්ථාව පවතින බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉරාන නිලධාරියා පෙන්වා දෙන්නේ ඇමෙරිකානු යෝජනාව මඟින් ඉරානයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ හැකියාව අත්හැරීමට බල කරන අතරම, පනවා ඇති සම්බාධක ඉවත් කිරීම පිළිබඳව ඇත්තේ ඉතා අපැහැදිලි සැලසුමක් බවයි. මේ වන විටත් සාකච්ඡා සඳහා නිශ්චිත සැලසුමක් සකස් වී නොමැති වුවද, තුර්කිය සහ පකිස්ථානය මැදිහත් වී ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින මතභේද අවම කර පොදු එකඟතාවක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටියි. මෙම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් මැදපෙරදිග කලාපයේ යුද ගින්න නිවා දැමීම සඳහා තීරණාත්මක වනු ඇතැයි විදේශ දේශපාලන විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.














