අක්කරපත්තුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු රුපියල් 4,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අද (26) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අක්කරපත්තුව රෝහල් පරිශ්‍රය තුළදී මෙම වැටලීම සිදු කර ඇත.
මෙම සිද්ධියට මුල් වී ඇත්තේ පැමිණිලිකරුගේ යතුරුපැදියෙන් ඔහුගේ මව වැටී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් 119 මධ්‍යස්ථානයට ලැබී තිබූ පැමිණිල්ලකි. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීමටත්, මවගෙන් ප්‍රකාශයක් ලබා නොගැනීමටත්, පොලිස් භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රය නැවත ලබා දීමටත් සැකකාර සැරයන්වරයා රුපියල් 5,000ක මුදලක් ඉල්ලා තිබේ. ඉන් රුපියල් 1,000ක් ලබාගෙන රියදුරු බලපත්‍රය මුදා හැර ඇති ඔහු, ඉතිරි රුපියල් 4,000ක මුදල අද පෙරවරු 10:12ට පමණ ලබා ගන්නා අවස්ථාවේදී මෙලෙස කොටු වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














