ඊශ්‍රායලය සහ අමෙරිකානු ඒකාබද්ධ හමුදා ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුමට අදට (මාර්තු 27) දින 28ක් සපිරෙන පසුබිමක, මැදපෙරදිග යුද ගින්න මඳකට නිවාලන පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.
ඉරාන රජය විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, එරට බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර තවත් දින 10ක කාලයක් සඳහා නතර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඒ අනුව ලබන අප්‍රේල් මස 6 වන සඳුදා රාත්‍රී 8:00 වන තෙක් මෙම ප්‍රහාරාත්මක මෙහෙයුම් අත්හිටුවීමට නියමිතය.
පසුගිය සඳුදා දින ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද පස් දින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කරමින් මෙම තීරණය ගෙන ඇත්තේ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති ට්‍රම්ප් සිය ‘ටෘත්’ (Truth Social) සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර ඇත්තේ, මෙම කාලය තුළ ඉරානය සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට අවස්ථාව ලබා දෙන බවයි. කෙසේ වෙතත්, මෙම තීරණය බලශක්ති බලාගාර ඉලක්ක කරගත් ප්‍රහාර සඳහා පමණක් අදාළ වන අතර සෙසු යුද මෙහෙයුම් පිළිබඳව මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැත.
ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ගණන් සහ කලාපීය ස්ථාවරත්වය කෙරෙහි මෙම තීරණය තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.
















