මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අභියෝගයකදී සැබෑ මිතුරෙකු ලෙස සහය වීමට රුසියාව සූදානම් බව මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ප්‍රකාශ කර තිබේ. ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සහතිකය ලබා දුන් අතර, එහිදී ඔහු අවධාරණය කළේ බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොව තාක්ෂණික මෙවලම් සහ යන්ත්‍රෝපකරණ ඇතුළු ඕනෑම අත්‍යවශ්‍ය අංශයකින් ශ්‍රී ලංකාවට සහය වීමට රුසියානු රජය කැපවී සිටින බවයි.
මෙම නිල හමුවට පෙර රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට අමාත්‍යවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කුමාර ජයකොඩි ඇතුළු දූත පිරිසක් සමඟද විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පිරිපහදු කළ රුසියානු ඉන්ධන මෙරටට ලබා දීමට නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟත්වය පළ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා තහවුරු කළේය. මෙම තීරණය පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.















