නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත 35 හැවිරිදි රැප් ගායකයෙකු සහ දේශපාලනඥයෙකු වන බැලේන්ද්‍ර ෂා හෙවත් ‘බැලන්’ (Balendra Shah), සිය දිවුරුම් දීමේ උත්සවයට පෙර දින (2026 මාර්තු 26) ‘Jai Mahakali’ නමින් නව වීඩියෝ ගීතයක් නිකුත් කර තිබේ. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ දර්ශන ඇතුළත් මෙම දේශාභිමානී ගීතය නිකුත් කර පැය කිහිපයක් ඇතුළත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා ඇති බව වාර්තා වේ.
පසුගිය මාර්තු 05 වැනිදා පැවති නේපාල මහා මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය වන ‘රැෂ්ට්‍රිය ස්වාතන්ත්‍ර පක්ෂය’ (RSP) ආසන 275න් 182ක් ජයග්‍රහණය කරමින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය. ඒ අනුව බැලන් ෂා අද (මාර්තු 27) නේපාලයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙසත්, මධේස් (Madhes) කලාපයෙන් බිහිවූ පළමු විධායක නායකයා ලෙසත් ඉතිහාසයට එක්වෙමින් දිවුරුම් දීමට නියමිතය. නේපාලයේ පැවති තරුණ උද්ඝෝෂණ මාලාවකින් පසුව පැරණි දේශපාලන පක්ෂ පරාජයට පත් කරමින් මෙම නව රජය බලයට පත්වීම විශේෂත්වයකි.















