ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ තරුණ තරුණියන්ගේ සහ පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින්, වීරකැටිය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන ලද නවීන වෙඩි තැබීමේ පරාසය (Shooting Range) අද (27) නිල වශයෙන් විවෘත කරන ලදී. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙම නව පහසුකම මගින් වෙඩි තැබීමේ ක්‍රීඩාවට උනන්දුවක් දක්වන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හේන්නායක, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල සහ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගමගේ මහතා සඳහන් කළේ, රජය ක්‍රීඩා ක්ෂේත්‍ර කිහිපයකට පමණක් සීමා නොවී සියලුම ක්‍රීඩා ඉසව් සඳහා සම අවස්ථා ලබා දීමට කටයුතු කරන බවයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ පුහුණු අවස්ථා මෙරට තුළම ව්‍යාප්ත කිරීම රජයේ අරමුණ බව හෙතෙම පෙන්වා දුන්නේය. උත්සවය අතරතුරදී එම මධ්‍යස්ථානයේ පුහුණුව සාර්ථකව නිම කළ තරුණ තරුණියන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු විය.














