ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත්වූ දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් 2026 මාර්තු 26 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවී තිබේ. මැලේසියාව, ඔස්ට්‍රියාව, ඉතියෝපියාව, ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනය යන රටවල් මෙන්ම අප්‍රිකානු සංගමය වැනි බහුපාර්ශ්වික ආයතන සඳහා නම් කරන ලද තානාපතිවරුන් සහ නියෝජිතයින් මෙම පිරිසට ඇතුළත් විය.
මෙහිදී දූත මණ්ඩල ප්‍රධානීන් අමතමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වසනීය සහ ධනාත්මක ප්‍රතිරූපයක් ගොඩනැගීම සඳහා වෘත්තීමය හා උපායමාර්ගික මැදිහත්වීමක අවශ්‍යතාවයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා පෙරදැරි කරගනිමින් කටයුතු කිරීමේ වගකීම ඇය එහිදී පෙන්වා දුන්නාය.
රටේ ආර්ථික සංවර්ධනය සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ නව අපනයන වෙළඳපොළවල් ගවේෂණය කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස අගමැතිනිය මෙහිදී උපදෙස් ලබා දුන්නාය. තිරසාරත්වය සහ නවෝත්පාදනය පදනම් කරගත් දිගුකාලීන සංවර්ධන ක්‍රියාවලියකට දායක වීම විදේශ දූත මණ්ඩලවල ප්‍රධාන වගකීමක් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














