ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක මූල්‍ය වංචාවල නිරත වූ චීන ජාතිකයින් 16 දෙනෙකු සහ කාම්බෝජ ජාතිකයින් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව පොලීසිය විසින් ඊයේ (27) සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පිරිස කොටු කරගෙන ඇති අතර, ඔවුන් රැඳී සිටි ලැඟුම්හලේ තිබී වංචනික ක්‍රියාවලට යොදාගත් නවීන පරිගණක සහ උපාංග රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 18 දෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අප්‍රේල් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. මෑත කාලයේ මෙරට විදේශිකයන් සම්බන්ධ මෙවැනි අන්තර්ජාල වංචා ඉහළ යාමත් සමඟ පොලීසිය සහ බුද්ධි අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මීගමුව පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














