ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනට භාවිත කරන සාම්ප්‍රදායික කඩදාසි දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙනුවට නවීන ඩිජිටල් “ස්මාර්ට් ටිකට්” (Smart Ticketing) ක්‍රමවේදයක් හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතිය ලබන අප්‍රේල් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය. කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (CSRP) යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ප්‍රථමයෙන් කැලණි වැලි දුම්රිය මාර්ගයේ පරීක්ෂණ මට්ටමින් දියත් කෙරේ. ඒ අනුව අප්‍රේල් මාසය තුළ දින කිහිපයක් නාරාහේන්පිට, නුගේගොඩ, මාකුඹුර, හෝමාගම සහ පාදුක්ක යන දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සැලසුම් කර ඇත.
මෙම නව ක්‍රමවේදය යටතේ නවීන ප්‍රවේශ පත්‍ර වලංගු කිරීමේ යන්ත්‍ර (Ticket Validation Equipment) ස්ථාපනය කෙරෙන අතර, එමඟින් මගීන්ට පෝලිම්වල රැඳී නොසිට ඉතා කාර්යක්ෂමව තම ගමන් බලපත්‍ර ලබා ගැනීමට සහ දුම්රිය ස්ථානවලින් පිටවීමට අවස්ථාව සැලසේ. කැලණි වැලි මාර්ගයේ නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ පසු එම මාර්ගයේ සියලුම ස්ථානවලටත්, ඉන් අනතුරුව වසර අවසානයට පෙර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම දුම්රිය මාර්ගවලටත් මෙම ඩිජිටල් පද්ධතිය ව්‍යාප්ත කිරීමට දුම්රිය බලධාරීහු අපේක්ෂා කරති. මගීන්ට වඩාත් හිතකාමී අතිරේක පහසුකම් රැසක් ද මෙයට සමගාමීව හඳුන්වා දීමට නියමිතය.














