හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීමේ කටයුතු අද (28) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට එක්වෙමින් හම්බන්තොට ලුණු සමාගමේ සභාපති ටී. නන්දන තිලක මහතා සඳහන් කළේ, මෙරට ලුණු අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට හැකි මට්ටමක පවතින බැවින් ඉදිරියේදී විදේශයන්ගෙන් ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ ගිය ද, දේශීය ලුණු මිල ඉහළ දැමීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
පලටුපාන, බූන්දල සහ මහලේවාය යන ප්‍රධාන ලේවායන් තුනම උපයෝගී කරගනිමින් මෙවර යල කන්නයේදී ලුණු මෙට්‍රික් ටොන් අනූදහසකට (90,000) ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි දැනට ඇස්තමේන්තු කර තිබේ. දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය ලුණු නිෂ්පාදනය සඳහා ඉතා හිතකර වන අතර, ඉදිරි කාලසීමාව තුළ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ යා හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙමඟින් දේශීය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට අමතරව විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ද මහඟු පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














