27 April 2024
#දේශීය

තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් – අධ්‍යාපන ඇමති රමේෂ්

පාසල තුළ දරුවාට ඇති අධ්‍යාපන පීඩනය අවම කර, ඔවුන් වැඩ ලෝකය හා ප‍්‍රායෝගික ව බද්ධ කිරීමත් පාසල් පද්ධතියට නව තාක්ෂණය හා භාෂා දැනුම ලබා දීමත් තම ධුර කාලය තුළ ඉටු කරගැනීමට අපේක්ෂිත බව අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරවා මේ බව පැවසුවේ නව තාක්ෂණය වෙත දරුවන් ප‍්‍රමුඛ අධ්‍යාපන ක්ෂේත‍්‍රය ම යොමු වීම, පසුගිය ව්‍යසන සමයේ අත්දුටු සාධනීය වෙනසක් බව ඊයේ (04) දින අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවති සිය ප‍්‍රථම උත්සව සභාව අමතමිනි.

රුපියල් බිලියන 30ක වාර්ෂික වැටුප් වර්ධක ප‍්‍රමාණයක් ගුරුභවතුන් උදෙසා ලබා දීමටත් වත්මන් රජය ක‍්‍රියා කළ අතර මේ සියල්ල හරහා අනාගත වැඩලෝකයට ගැළපෙන නව තාක්ෂණික දැනුමෙන් පොහොසත් සමබර මනසක් සහිත දරුවකු බිහි කරගැනීමට අවශ්‍ය ආධ්‍යාපනික දිශානතියකට නැඹුරු ව බාධක මධ්‍යයේ වුව ගමන් කිරීම රජයේ මුඛ්‍ය අරමුණ බව වැඩිදුරටත් සඳහන් කළේ ය.

ජාතික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමී ව දිවයිනේ සෙසු පාසල්වල ප‍්‍රමිතිගත තුලනාත්මක සංවර්ධනය සඳහා ක‍්‍රියාත්මක පොකුරු පාසල් හා ත්‍රෛභාෂා පාසල් ව්‍යාපෘති දෙක යටතේ එම පාසල්වල යටිතල පහසුකම් හා සේවා සම්පාදනයට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් දැක්වී ය.

අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ විෂය මූලිකත්වයෙන් අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය හා එක් ව ‘නිදහස් දහසක්’ මැයෙන් 2021 සිට සිව් වසරක් සඳහා ක‍්‍රියාවට නංවා ඇති මේ වැඩසටහනේ දී පළමු අදියර තුළ විද්‍යා, ක‍්‍රීඩා, සෞන්දර්ය අධ්‍යයන, තොරතුරු තාක්ෂණ, කෘෂි යන ක්ෂේත‍්‍රවලට අදාළ උපකරණ, ගුරු-සිසු පුුටු-මේස වශයෙන් පොකුරු පාසල් සඳහා රුපියල් මිලියන 20.6ක් හා ත්‍රෛභාෂා පාසල් සඳහා රුපියල් මිලියන 56.5ක් වශයෙන් වූ මූල්‍යමය වටිනාකමක් සහිත උපකරණ ලබා දීම සිදු විය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කේ. කපිල සී. කේ. පෙරේරා මහතා සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එස්. ඞී. ජයසේකර මහත්මිය ඇතුළු නිලධාරීහු එක් ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *