27 April 2024
#දේශීය

විකාශන නියාමන කොමිසම විද්‍යුත් මාධ්‍ය ආණ්ඩුවට හීලෑ කර ගැනීමේ තැතක් – වෛද්‍ය නලින්ද

ආණ්ඩුව විසින් යෝජනා කර, සාකච්ඡාවට බඳුන් කරමින් තිබෙන විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම් පත විද්‍යුත් මාධ්‍ය හිලෑ කිරිමේ සැලසුමක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) ජාතික ජන බලවේගය කැඳවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී නලින්ද ජයතිස්ස මහතා මෙසේ අදහස් පල කලේය “ ආණ්ඩුව විසින් යෝජනා කර, සාකච්ඡාවට බඳුන් කරමින් තිබෙන විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම් පත පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. අපේ රටේ විද්‍යුත් මාධ්‍යවල සංඛ්‍යාත තීරණය කිරීම සඳහා සහ බලපත්‍ර ලබාදීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තිබෙනවා. දැන් ආණ්ඩුව මේ අලුත් කොමිසම යෝජනා කරන්නේ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල විකාශනය වන වැඩසටහන්වල අන්තර්ගතය නියාමනය කිරීම සඳහායි. මෙම විද්‍යුත් විකාශන නියාමන කොමිසම පිළිබඳව 2022 සැප්තැම්බර් මාසයේදී පළමුවරට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනෙනවා. ඒ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ මූලිකත්වයෙන් පැවැත්වුණු කැබිනට් මණ්ඩලයකදීයි. එහිදී මේ සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් නම් කරනු ලැබෙනවා. ඒ අනුව එම කැබිනට් අනු කමිටුව විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත දැන් ඉදිරිපත් වී තිබෙනවා. එය මාධ්‍ය ක්ෂේත්‍රයේ සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. ආණ්ඩුව මෙම නියමන කොමිසම මගින් කරන්න යන දෙය අපට පේනවා. පසුගිය කාලයේ සමාජයේ තැන් තැන්වල මාධ්‍ය නියාමනය පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. එහෙත් ආණ්ඩුව මාධ්‍ය නියාමනය පිළිබඳ කතිකාවට මුවා වෙලා කරන්න යන්නේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ ක්‍රියාවලියක් බව ඉතා පැහැදිලියි. මේ පනත් කෙටුම්පතින් යෝජනා කරන ලෙසට මේ විද්‍යුත් නියාමන කොමිසමේ සාමාජිකයින් පස් දෙනෙක් සිටිනවා. දෙදෙනෙක් නිල බලයෙන් පත් වෙනවා. එක් අයෙක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයායි. දෙවැන්නා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයායි. මේ තනතුරු දෙකම ඍජුවම ජනාධිපතිවරයා විසින් පත් කරන තනතුරුයි. මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා පත් කරනු ලබන්නේත් ජනාධිපතිවරයා විසිනුයි. ඒ, ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතවයි. ඒ අනුව අවසාන වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින් 05දෙනෙක් විසින් මෙම යෝජිත කොමිෂන් සභාව පාලනය කරනු ලබනවා. ජනාධිපතිවරයා විසින් නිල බලයෙන් පත් කරනු ලබන සාමාජිකයන් දෙදෙනා හැරුණු විට සෙසු සාමාජිකයන් තිදෙනා ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පත් කළාට ඔවුන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ හෝ ව්‍යවස්ථා සභාවේ කිසිදු අනුමැතියක් අවශ්‍ය නැහැ. මේ කෙටුම්පතට අනුව ව්‍යවස්ථා සභාවට හුදු දැනුම් දීමකින් පමණක් ජනාධිපතිවරයාට ඔවුන් තිදෙනා ඉවත් කළ හැකියි. මේ පත් කරනු ලබන සාමාජිකයන් තිදෙනා, ජනාධිපතිවරයාගේ සිතැඟි සහ අභිලාෂයන් ඉටු කරන තාක් පමණක් මේ කොමිෂන් සභාවේ සාමාජිකත්වය දරන බව ඒ අනුව ඉතාම පැහැදිලියි.

මීට පෙර ආණ්ඩුවකට කොමිෂන් සභාවක සභාපතිවරයා ඉවත් කිරීමේ දුෂ්කරතාවයන් තිබුණා. නිදසුනක් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිපතිවරයාට ඍජුව හැකියාවක් තිබුණේ නැහැ. ඔහු ඉවත් කළ හැකිව තිබුණේ පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියෙන් පමණයි. නමුත් වර්තමාන ආණ්ඩුව හා ජනාධිපතිවරයා ඒ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කරන තැනකට ගියා. ජනක රත්නායක පත් කරන ලද්දේ ආණ්ඩුවේ වුවමනාවන් අනුවයි. ඔහුම කියන පරිදි ගෝඨාභය ජනාධිපතිවරයාට මැතිවරණයේදී උදව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරය ලැබෙනවා. ඒ දේශපාලන හිතවත්කම අනුව ඔහුව පත් කරනු ලැබුවත් වර්තමාන ජනාධිපතිවරයාගේ හෝ අමාත්‍යවරයාගේ සිතැඟියාවන් අනුව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුව ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළා. එවැනි දුෂ්කරතා තිබියෙදීත් ආණ්ඩුව ඔහුව තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේනම් කොමිසමේ සාමාජිකයන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන මොහොතක මෙම කොමිෂන් සභා සාමාජිකයන් පස්දෙනාම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ පදයට නැටවෙන රූකඩයන් බවට පත් වෙනවා.
එවගේම යෝජිත පනත් කෙටුම්පතට අනුව මෙම කොමිසමේ ක්‍රියාකාරිත්වය සඳහා ඝනපූර්ණය වන්නේ සාමාජිකයන් තිදෙනක්. මේ කොමිසමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් වෙනවා. මෙහි ක්‍රියාකාරී කොටස පවත්වා ගෙන යන්නේ ඔහුයි. මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනුයි. දැන් මේ රටේ විද්‍යුත් මාධ්‍යයන්හි විකාශන අඩංගුව පිළිබඳව තීන්දු ගැනීමේ සමස්ත බලය පැවරෙන්නේ මේ පිරිසටයි. මේ ක්‍රියාවලිය කර ගෙන යාමේදී එක් එක් විද්‍යුත් විකාශන ආයතනය නියාමනය කරනු ලබනවා. ඒ මෙම කොමිසම මගින් තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කිරීම මගිනුයි. ඒ විමර්ශන කමිටුවට සාමාන්‍ය බලතල ඉක්මවන ලද අපරාධ විමර්ශන බලතල ලබා දී තිබෙනවා. ඒ අය විසින් යම් යම් පරීක්ෂණ සිදු කර ලබා දෙන වාර්තාව මත රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවල බලපත්‍රය අහෝසි කරන්නේද, තාවකාලිකව නතර කරන්නේද යන්න කොමිසම විසින් තීන්දු කරනවා.

මාධ්‍ය ආයතන විසින් ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට, ජාතීන් අතර සමගියට සහ ආගමික සංහිඳියාවට හානි වන, තර්ජනයක් වන කවර හෝ දෙයක් කළහොත් එයට එරෙහිව විමර්ශනය කර මාධ්‍ය ආයතනයේ බලපත්‍රය තාවකාලිකව හෝ මුළුමනින්ම අහෝසි කිරීමට, බලපත්‍ර කාලය දිගු නොකර සිටීමේ බලයක් මේ කොමිසමට පැවරීමට ආණ්ඩුව උත්සාහ කරනවා. මේ පනත් කෙටුම්පතේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය යන වචන සඳහන් කර තිබුණාට ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචන මෙහි ඇතුළත් වී නැහැ. එහි තේරුම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව හෝ ජාතික ආර්ථිකය පිළිබඳව සිතන පතන ආකාරය අනුව නෛතික තීන්දු ගැනීමේ බලයක් ලබා ගැනීම වෙනුවෙන් මෙම පනත කෙටුම්පත් කර තිබෙනවා. උදාහරණයක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, මෑතකදී ජාතිය අමතා කරන ලද කතාවේදී ඔහුගේ කතාවේ හරය වූයේ මගේ ප්‍රතිපත්තිය විකිණීම, මට විකුණන්න ඉඩ දෙන්න, ඒකට බාධා කරන්න එපා කියන එකයි. ඔහු පැරණි උදාහරණවලින් කියන්න උත්සාහ කළේ විකිණීමේ ප්‍රතිපත්තියට ඒ කාලයේත් බාධා කළා ඒ නිසා මෙය විකිණීමට ඉඩ දෙන්න, මම මෙය 2048දී හදලා දෙන්නම් කියන එකයි. අපේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ ඒ මෙහොතේ රටේ රාජ්‍ය නායකයා හිතන පතන විදිහයි. ඔහු පත් වුණේ මහජන ඡන්දයකින්ද නැද්ද යන්න අදාළ වන්නේ නැහැ. ඔහුගේ කැමැත්ත කැබිනට් මණ්ඩලයේ තීන්දු බවට පත් වෙනවා. රාජ්‍යයේ තීන්දු බවට පත් වෙනවා. විකිණීම තමන්ගේ ප්‍රතිපත්තිය කර ගත් ජනාධිපතිවරයෙක් ඉන්න වෙලාවක මේ වගේ කොමිසමක් ක්‍රියාත්මක වුණොත් විකිණීමට එරෙහිව සිදුකරන උද්ඝෝෂණ පවා වාර්තා කිරීමට මාධ්‍ය ආයතනවලට නොහැකි වෙනවා. නිදසුනක් ලෙස සංචාරක කර්මාන්තයේ අය තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගතහොත් ඒවා මහජනතාවට වාර්තා කරනු ලැබහොත් ආණ්ඩුවට අවශ්‍යනම් ජාතික ආර්ථිකය යන වචන දෙකට මුවා වී එම ආයතනවලට එරෙහිව මෙම කොමිසම මගින් ක්‍රියාමාර්ග ගනු ලැබිය හැකියි. අනෙක් අතට මේ වචන පාවිච්චි කරන්න හදන දේශපාලන පරිසරය අපි තේරුම් ගත යුතුව තිබෙනවා. දැන් සිටින්නේ ස්වාධීන මැතිවරණ කොමිසමට ඡන්දය පවත්වන්න ඉඩ නොදෙන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක්. මෙවැනි තත්වයක් යටතේ පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙන කොමිසමකින් කොපමණ දේවල් කරනු ඇතිදැයි අප තේරුම් ගත යුතුව තිබෙනවා. මේ කොමිසම් සභා කෙටුම්පත තුළ ආණ්ඩුවේ අරමුණ ඉතාම පැහැදිලියි. මේ ආණ්ඩුවට ජනතාවගේ භාෂණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ, සමාගමයේ, රැස්වීමේ නිදහස අඩාල කරන්න, කප්පාදු කරන්න අවශ්‍ය වී තිබෙනවා. ආණ්ඩුව කෙටුම්පත් කළ ත්‍රස්ත විරෝධී පනත මගින් උත්සාහ දරන දෙය සමාජයට පැහැදිලියි. අයිසීසීපී පනත මගින් අද ආණ්ඩුව කරමින් සිටින්නේ කුමක්ද යන්නත් ඉතාම පැහැදිලියි.

ජනතාවට සත්‍ය තොරතුරු ගලා ගෙන යාම අඩාල කරන්න ආණ්ඩුවට දේශපාලනික අධිෂ්ඨානයක් තිබෙනවා. මේ පනත් කෙටුම්පත ඊට උදව් වන පනතක්. මේ පනත, විද්‍යුත් මාධ්‍ය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයකට පාලනය කර ගැනීම සඳහා ඒවා තුළ චිප් එකක් තැන්පත් කරනවා වගේ වැඩක්. මාධ්‍ය ආයතනවලට කරනු ලබන තර්ජනයක්. මාධ්‍ය ආයතන අතර තරගකාරිත්වය විසින් ජනතාවට බොහෝ තොරතුරු ඒමට මඟපාදා තිබෙනවා. නමුත් තරගකාරිත්වයක් ඇති වන්නේ මාධ්‍ය ආයතන පැවතුණොත් පමණයි. ඊළඟ වසරට මාධ්‍ය විකාශන බලපත්‍ර ලබා ගැනීම පිළිබඳ දෙගිඩියාවක් ඇතිවුවහොත් ආණ්ඩුවට හීලෑ වූ ප්‍රවේශයකට යාමට මෙම මාධ්‍ය ආයතන හිමිකාරිත්වයට සිදුවනවා. ආණ්ඩුව මෙම කොමිසමේ අවශ්‍යතාව වර්ණනා කරන්නේ බක ජාතකයේ කොකා ‘පස් පියුමෙන් සුසැදි විල’ ගැන මාළුවන්ට කියූ පරිදියි. මෙවැනි මහජන ඡන්දයෙන් පත් නොවුණු, මහජනයා විසින් ප්‍රතික්ෂේප කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පත් වූ ජනාධිපතිවරයෙක් විසින් පත් කරන කොමිසමකට ඒ ජනාධිපති පත් කරන ඇමතිවරයාගේ අධ්‍යක්ෂ ජනරාල්වරයයෙකුටත් මේ රටේ මාධ්‍ය ආයතන නියාමනය කිරීමේ අයිතිය ලබා දීමට අප දැඩිව විරෝධය පළ කරනවා. මාධ්‍ය මගින් තොරතුරු ලබන සියලු ජනතාවට ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජනමාධ්‍ය නිදහසට බාධා කරන කූට ප්‍රයත්නයට එරෙහිව දැනුවත්ව පෙළගැසෙන ලෙස අපි ආරාධනා කරනවා යැයි නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *