27 April 2024
#දේශීය

ජාතික පරිසර පනත යාවත්කාලීන කිරීමට ජනපති ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි – මාධ්‍යවේදී අරුන්

‍වසර 43ක් පැරණි ජාතික පරිසර පනත යාවත්කාලීන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය අගය කරන බව පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් ඊයේ (05) ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි.

ජනාධිපතිවරයාගේ අදහසකට අනුව මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය තුළින් මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

2048 හරිත ආර්ථිකයක් කරා ගමන් කිරීමේ ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළට සමගාමීව 1980 අංක 47 දරන ජාතික පරිසර පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත මේ වන විට නීති අංශ වෙත යොමු කර තිබේ.

ඊට අමතරව සිංහරාජය, හෝර්ටන්තැන්න, නකල්ස් කඳුවැටිය සහ මහවැලිය ජීවමාන අස්ථීත්වයන් (living entities) නම් කරමින් නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර ඇත.

මෙම නව ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා පැවසුවේ ජපානය, නවසීලන්තය වැනි රටවල්වල මෙවන් ප්‍රතිපත්ති අනුගමනය කරන බවත්, එම නිසා එම රටවල්වල පුරවැසියන් පරිසරය මිනිසෙක් ලෙස සලකා සුරැකීමට කටයුතු කරන බවත්ය.

පරිසරය පුළුල් විෂයක් බවත්, අපේ රටේ සම්පත් ආරක්ෂා නොකළහොත් ඉදිරි පරපුරට රටක් ඉතිරි නොවන බවත්, පරිසරය පිළිබඳව සමාජයේ පවතින දැනුම වැඩිදියුණු කරගත යුතු බවත් බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *