අනුරාධපුර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 16ට අඩු දරුවන් 5,780ක් ලිංගික අතවරයන්ට හෝ දූෂණයට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව මෑතකදී සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ටී.බී. සුගතපාල මහතා මේ බව හෙළි කළේ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරුන්ගේ සම-සභාපතිත්වයෙන් පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.
මෙම දරුවන්ගෙන් 4,248ක් ඉහළ අවදානම් කණ්ඩායමට අයත් වන අතර, වැඩිම අවදානම් සහිත දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ තඹුත්තේගම ප්‍රදේශයෙන් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. පසුගිය වසරේදී පමණක් මෙවැනි දූෂණ සිදුවීම් 36ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ ගත වූ මාස 5ක කාලය තුළ පමණක් එවැනි සිදුවීම් 24ක් වාර්තා වී තිබීම අතිශය බරපතළ තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙනවා.
දෙමව්පියන් විදෙස්ගත වීම හේතුවෙන් දරුවන් ඥාතීන්ගේ භාරයේ හැර දමා යාම සහ දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන නොසැලකිලිමත්භාවය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මෙම අවදානමට ලක්ව සිටින දරුවන් පිළිබඳව පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බවත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සහතික වුණා.
















