අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් රුපියල් මිලියන 2144ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදිවන දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනමින් නිම වෙමින් පවතී. රටේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙහි ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දමා තිබූ අතර, පසුව 2024 වර්ෂයේදී මෙහි වැඩකටයුතු නැවත ආරම්භ කෙරිණි.
මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය පර්යන්ත දෙකකින් සමන්විත වන පරිදි නිර්මාණය කර ඇත. ඉන් එකක් අනුරාධපුර නගරයට පැමිණෙන සහ නගරය හරහා පිටත්ව යන බස්රථ සඳහා මගීන් නැඟීම සහ බැසීම පමණක් සිදු කරන ‘Touch & Go’ පර්යන්තය වන අතර, අනෙක ප්‍රධාන බස් නැවතුම්පොළ පර්යන්තයයි. මීට අමතරව අනුරාධපුර නව නගරය දුම්රිය ස්ථානය ද ආරක්ෂිත ගුවන් පාලමක් (Flyover) මඟින් මෙම බස් නැවතුම්පොළ සමඟ සෘජුව සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වයක් වේ.
දුම්රිය ස්ථානයේ උඩුමහල මගීන්ට විවේක ගැනීමට සහ නවාතැන් ගැනීමට අවශ්‍ය කාමර පහසුකම්වලින් සමන්විත වන අතර, මගීන් වෙනුවෙන් කුලී රථ (Taxi) සේවාවන් ලබාගැනීමේ පහසුකම් ද මෙහි ස්ථාපිත කෙරේ. එමෙන්ම බස් නැවතුම්පොළ උඩුමහලේ වාණිජමය කටයුතු සඳහා වන පරිශ්‍ර දෙකක් සහ නවීන ආපනශාලාවක් ද ඉදිවනු ඇත. පෞද්ගලික සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර, උපදේශන ආයතනය ලෙස ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය (CECB) දායකත්වය සපයයි.
















