27 April 2024
#දේශීය

ප්‍රාණ ඇපකරුවන් මුදවා ගන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 ක් පත් කරයි

ගුවන් යානා පැහැර ගැනීම් හෝ ප්‍රාණ ඇපකරුවන් රඳවාගැනීම් වැනි අවස්ථා කළමනාකරණයේ කොටසක් ලෙස ජාත්‍යන්තර ගුවන් සේවා සම්මුතීන් වලට අනුකූලව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම පත්කිරීම් ලිපි ඊයේ (16) දිනඅමාත්‍යංශ පරිශ්‍රයේ පැවති නිල උත්සවයකදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ලිපි ලබා දෙන ලදී.

එහිදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මෙම පත්වීම කාලෝචිත අවශ්‍යතාවයක් බවත්, සිවිල් ජීවිත ආරක්ෂා කිරීම සඳහා දැඩි වගකීම් දැරීමට සිදුවන බවයි.

9/11 ප්‍රහාරයෙන් පසු ලෝකයේ ගුවන් සේවා කර්මාන්තයට ඇති වූ තර්ජන හමුවේ එය විකාශනය වී ඇති ආකාරය සහ අනාගතයේ දී එවැනි තත්වයන් වළක්වා ගැනීම සඳහා කාලෝචිත පියවර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

මීට අමතරව, මේජර් ජෙනරාල් ගුණරත්න කියා සිටියේ නව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් කණ්ඩායම ගුවන් සේවා නිලධාරීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ විය යුතු බවත්, ඔවුන්ගේ සේවා හැකියාව ඉහළ නැංවීම සඳහා විධිවිධාන යොදා ඇති බවත්, එම පියවර තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවත්ය.

ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන්ගේ කණ්ඩායම 2006 දී ඇමරිකා එක්සත් ජනපදයේ දී පුහුණුවක් ලබා ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *