සිගරට් සඳහා නිසි බදු අය නොකිරීමේ වඩාත්ම ක්ෂණික සහ බරපතල ප්‍රතිවිපාකය වන්නේ රාජ්‍ය ආදායම දැවැන්ත ලෙස අහිමි වීමයි. 2025 වසරේ පැවති පරිභෝජන මට්ටම එලෙසම පවතින බව උපකල්පනය කළහොත්, සිගරට් සඳහා වන බදු ප්‍රතිශතය නැවතත් 75%ක මට්ටමට ගෙන ඒම මගින්, සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් නොකර වුවද, රජයට වාර්ෂිකව අමතර රුපියල් කෝටි 1,730ක ආදායමක් ලබා ගත හැකිය.
මෙම මුදල් ප්‍රමාණය හුදෙක් සංඛ්‍යාවක් පමණක් නොවන අතර, රටේ අත්‍යවශ්‍ය සමාජ සුභසාධන කටයුතු රැසක් සඳහා එය සෘජුවම බලපෑ හැකිය. උදාහරණයක් ලෙස, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්ෂික අයවැය මෙන් 1.2 ගුණයක් ද, පෝෂණ වැඩසටහන් සඳහා වෙන් කර ඇති මුදල් මෙන් 1.3 ගුණයක් ද මෙම අහිමි වන ආදායමට සමාන වේ. රජය විසින් දුම්කොළ සමාගම් වෙත ලබා දී ඇති මෙම වක්‍ර සහනය නොදුන්නේ නම්, මහජනතාව මත පටවා ඇති අනෙකුත් බදු බර අඩු කිරීමට පවා ඉඩකඩ පැවති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙති.
තවද, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් දුම්කොළ බදුකරණය සම්බන්ධයෙන් පැහැදිලි කැපවීමක් සිදුකර ඇත. 2003 නොවැම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ රාමුගත සම්මුතිය අනුමත කළ ශ්‍රී ලංකාව, උද්ධමනයට සහ ආදායම් වර්ධනයට අනුකූලව දුම්කොළ බදු ක්‍රමානුකූලව ඉහළ නැංවීමට එකඟ වී තිබුණි. එහෙත්, මෑත කාලීන රජයේ ප්‍රවේශය එම ජාත්‍යන්තර ප්‍රතිපත්තිවලට හාත්පසින්ම විරුද්ධ දිශාවකට ගමන් කරමින් පවතින අතර, මෙය රටේ මූල්‍ය ස්ථාවරත්වයට සහ ජනතා සුභසාධනයට බරපතල අභියෝගයක් වී තිබේ.
















