27 April 2024
#ව්‍යාපාර

කොළඹ වරාය නගර සමාගමෙන් ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික පුස්තකාලයට ළමා ග්‍රන්ථ 2,500ක පරිත්‍යාගයක්

ලෝක ළමා දිනය හා සිය සංවත්සරය නිමිති කොටගෙන ජාතික පුස්තකාලය වෙත ළමා ග්‍රන්ථ 2,500ක් පරිත්‍යාග කිරීමට CHEC Port City Colombo (CPCC) සමාගම විසින් පසුගිය දා කටයුතු කරන ලදී.

මෙසේ පරිත්‍යාග කරන ලද්දේ “City Rising from the Ocean” යන ආදර්ශමත් , අධ්‍යාපනික ළමා ග්‍රන්ථයේ සිංහල හා දෙමළ භාෂාවලට පරිවර්තනය කළ පිටපත් ය. අනාගත පරපුර ප්‍රබෝධමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ඉදිකරන ලද ප්‍රථම හා ප්‍රධානතම සැලසුම් සහිත නගරය වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම පිළිබඳ ආකර්ෂණීය කතාවක් මෙහි ඇතුළත් කොට ඇත. 2021 වසරේ දී මුල් වරට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම ග්‍රන්ථයේ පිටපත් 2,000 ක් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට පරිත්‍යාග කෙරිණි. එම ග්‍රන්ථ පරිත්‍යාගයට සමගාමීව, CPCC ආයතනය විසින් ජාතික පුස්තකාලයේ චීන ග්‍රන්ථ අංශය නවීන කියවීමේ පහසුකම් සමඟින් ප්‍රතිසංස්කරණය කිරීමද සිදුවිය.

ශ්‍රී ලාංකික දුවා දරුවන්ට හා තරුණ ප්‍රජාවට නැවුම් වූ අවස්ථා නිර්මාණය කිරීම මූලික කරගනිමින් විවිධ මුලපිරීම් සමඟින් ඉදිරියට යන CPCC සමාගම, කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි එකම ආයෝජකයා හා ප්‍රධාන සංවර්ධකයා ද වේ. කියවීම ප්‍රවර්ධනය කිරීම හරහා දරුවන්ගේ නව නිර්මාණාත්මක චින්තනය ගොඩනංවමින් ඔවුන් තුළ ඉගෙනීමට ඇති ආශාව වර්ධනය කිරීම සඳහා ධනාත්මක බලපෑමක් සිදු කිරීමට CPCC දරන උත්සාහය මෙම වසරේ සිදු කළ පොත් පරිත්‍යාගය තුළින් මනා ලෙස පිළිඹිබු වේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි 8 වන සංවත්සරය සහ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් අදාළ පරිවර්තන පිටපත් 2,500 ක කට්ටලය CPCC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නියෝජනය කරමින්, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ CIFC සංවර්ධන ව්‍යාපෘතියෙහි සහකාර විධායක අධ්‍යක්ෂ – ශාලක විජයරත්න මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් විසින් ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මීට අමතරව මෙම උත්සවයට ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂිකා පද්මා බණ්ඩාරනායක, ව්‍යාපෘති සේවා සහකාර අධ්‍යක්ෂිකා ඉරෝමි විජේසුන්දර, ග්‍රන්ථ නාමලේඛන පාලන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා අනෝමා විජේසිංහ සහ පුස්තකාල පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ මෛත්‍රී ජයසුන්දර යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විජයරත්න මහතා පැවසූයේ, “කොළඹ වරාය නගරය හුදෙක් නගරයක් පමණක් ම නොවේ. එය අදහසක් යථාර්ථයක් බවට පත්වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. අදහසක් ඔස්සේ සියල්ල මුල සිට ආරම්භ කර, දක්ෂතාව හා අධිෂ්ඨානය ඔස්සේ විශිෂ්ඨ නිර්මාණ බිහි කිරීමට හැකිය. මීළඟ පරපුරට අප ලබාදිය යුත්තේ මෙවැනි ආදර්ශයි. එම නිසා ජාතික පුස්තකාලයට මෙම පරිත්‍යාගය සිදුකිරීමට හැකිවීම අපට මහත් සතුටක් මෙන්ම මෙය අපගේ උත්සාහයේ සාර්ථකත්වය නැවත වරක් තහවුරු කිරීමක්. එමෙන්ම මෙය ජාත්‍යන්තර ළමා දිනය සැමරීමට ලැබුණු අගනා අවස්ථාවක් ද වේ”. අවසන් වශයෙන් ඔහු පවසා සිටියේ, ළමා පරපුර මේ ආකාරයට දිරිමත් කිරීම තුළින් ඔවුන්ගේ නිර්මාණශීලී චින්තනය පෝෂණය කිරීම හරහා ශ්‍රී ලාංකික දූ දරුවන්ට ගෝලීය පුරවැසියන් සමඟ එක්ව සාර්ථක, තරඟකාරී ගමනක් යාමට අවස්ථාව උදාකර දිය හැකි වනු ඇතැයි විශ්වාස කරන බවයි.

2022 වසරේ මුල සිට ඉදිකිරීම් කටයුතු අවසන් කෙරුණු කොළඹ වරාය නගරයේ පොදු ස්ථාන ක්‍රමයෙන් මහජනතාවට විවෘත විය. නිල විවෘත කිරීමෙන් පසුව ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ වාර්තාගත ලෙස 700,000 ක පමණ ජනතාවක් සැහැල්ලු යාත්‍රාංගණය හා සෘජු පදික මංතීරුව නැරඹීමට පැමිණ ඇති බව වාර්තා වේ. වරාය නගරයේ ප්‍රධාන සැලැස්ම අනුව, හෙක්ටයාර 91 ක භූමි ප්‍රමාණයක් පොදු අවකාශයන් සඳහා වෙන්කිරීමට සැලසුම් කර තිබේ. හෙක්ටයාර 53 ක් පුරා විහිදුණු හරිත අවකාශයන්, කිලෝමීටර් 2 ක දිගින් යුත් වෙරළ තීරයක්, හෙක්ටයාර 14 ක මධ්‍යම උද්‍යානයක්, පදික මංතීරු, ඇල මාර්ග සහ උද්‍යාන එකිනෙක සම්බන්ධ කරන මංමාවත් ආදිය මීට ඇතුළත් ය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති විශාලතම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතියයි. එය ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සුවිශේෂී මිත්‍රත්වයේ ප්‍රතිඵලයකි. 2019 දී මෙහි ගොඩකිරීම් සහ නාගරික යටිතල පහසුකම් සම්පූර්ණ කරන ලදි. 2021 මැයි මස සිට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත බලාත්මක කිරීමත් සමඟ එය දකුණු ආසියාවේ මූල්‍ය හා නවීන සේවා සඳහා විශේෂ ආර්ථික කලාපය බවට පත් වීමට සැලසුම්කර ඇත. කොළඹ වරාය නගරයේ එකම ආයෝජකයා සහ ප්‍රධාන සංවර්ධකයා වන CPCC විසින් ඩොලර් බිලියන 1.4 ක මුදලක් මෙහි ගොඩකිරීම් සහ යටිතල පහසුකම් සඳහා මේ වන විටත් ආයෝජනය කර තිබේ. නිශ්චල වත්කම් සංවර්ධනය සඳහා කොළඹ වරාය නගරය තුළ ජනනය වන අපේක්ෂිත සෘජු විදේශ ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15 කි. ඉදිකිරීම් කාලය තුළ කොළඹ වරාය නගරය තුළින් රැකියා අවස්ථා 8,000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වූ අතර අනාගතයේ දී ගුණාත්මක රැකියා 83,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට නියමිතය. එමගින් සමස්ත ජනගහනය වන 273,000 කට අවශ්‍ය ජීවන පහසුකම් සැලසීමට හැකිවන අතර, වසරකට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 13.7 ක් වනු ඇත.

 

පිටපත – PR

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *