27 April 2024
#සංවර්ධන

යළි මෙරට ඩීසල් හා ගල්අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම අවසර නොදෙයි – ඇමැති මහින්ද

මින් ඉදිරියට අප රටේ ඩීසල් හා ගල් අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීන්දුවක් ගෙන ඇති අතර එය අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) වළවේ ගඟ හා කිරිඳි ඔය ආශ්‍රිතව ගං ඉවුරුවල හා ගඟ තුළ වැවී ඇති වල් පැළෑටි හා වෙනත් ආක්‍රමණික ශාකවර්ග ඉවත් කිරීම සඳහා සුරකිමු ගංගා යටතේ ක්‍රියාත්මක වැඩ පිළිවෙළ ආරම්භ කරමිනි.

අපේ රටේ ගංගා පද්ධතියට අයත් ගංගා 103ම සංරක්ෂණ කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය විසින් සුරකිමු ගංගා වැඩ පිළිවෙළ ආරම්භ කර තිබේ.මේ සඳහා රජය විසින් 2021 වසර සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 200කි.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගංගා 103ම ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණයක් පරිදි අප රටේ ගංගා පද්ධතිය ආශ්‍රිතව ජීවත් වන ඇතැම් අඩු ආදායම්ලාභී පවුල්වලට නිසි පරිදි වැසිකිළි පහසුකම් නොමැති නිසා ඔවුන් මළ අපද්‍රව්‍ය මෙම ගංගාවලට බැහැර කරන බව පෙනී ගොස් තිබේ. ඒ අනුව එම අඩු ආදායම්ලාභී ජනතාවට වැසිකිළි පහසුකම් සකසා ගැනීම සඳහා 2021 වසරට රුපියල් මිලියන 19ක් කැළණි. මැණික් හා වළවේ ගඟ ආශ්‍රිතව ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වලට වැසිකිළි ඉදි කර ගැනීම සඳහා ලබා දීමට වෙන් කර ඇත.

මේ යටතේ වළවේ ගඟ ආශ්‍රිතව ජීවත් වන පවුල් සඳහා වැසිකිළි ආධාර බෙදා දීම ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (16) අම්බලන්තොට දී සිදු කරනු ලැබීය. එමෙන්ම වළවේ ගඟ හා කිරිඳි ඔය ආශ්‍රිතව වැවී ඇති අනවශ්‍ය ගස් හා පැළෑටි ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ද ආරම්භ විය. මේ සඳහා සුරකිමු ගංගා වැඩ සටහන යටතේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 15 ඉක්මවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *