27 April 2024
#දේශීය

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් සංවර්ධිත කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම, ඉදිරි දශකය තුළ දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයාට වස විසෙන් තොර කෘෂි නිෂ්පාදන ලබාගැනීමට අවස්ථාව උදා කිරීම හා පරිසර හිතකාමී වගා හඳුන්වා දීමට කටයුතු කරන බව අවධාරණය කර ඇත.

පසට හා ජලයට එකතු වන රසායන අපද්‍රව්‍ය අවම කරමින්, ජීවනෝපාය මාර්ග තුළින් පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත හරිත කෘෂිකර්මයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛ පරමාර්ථයක් වේ. නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින්, පරිසර හිතකාමී හා කාබනික වගාවන් සිදු කිරීමෙන් තිරසර හරිත කෘෂිකර්මයක් කරා ගමන් කිරීමෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිලාභ අත්කර ගැනීමට ඇති හැකියාව අවධානයට ලක්කර තිබේ.

පර්යේෂණ හා නව නිපැයුම් මඟින් අහිතකර කෘෂි රසායන ද්‍රව්‍ය අවම කිරීමට හා පරිසර හිතකාමී දේශීය පරිසර තත්ත්වයන්ට ගැළපෙන කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය දිරිගැන්වීම් ලබාදීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ (15) මෙම කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණ.

විජිත් වැලිකල මහතාගේ සභාපතීත්වයෙන් යුත් කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සංඛ්‍යාව 14කි. ජනාධිපති අතිරේක ලේකම්, වර්නන් පෙරේරා මහතා කාර්ය සාධක බලකායේ ලේකම්වරයා ලෙස පත්කර ඇත. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.

01. විජිත් වැලිකල මහතා – සභාපති, වයිල්ඩ් හොලිඩේස් (පුද්ගලික) සමාගම
02. ලලිත් සෙනෙවිරත්න මහතා
03. එස්.කේ.බී. කසුන් තාරක අමල් මහතා – අධ්‍යක්ෂ, ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනය
04. මාලින්ද සෙනෙවිරත්න මහතා – අධ්‍යක්ෂ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා
පුහුණු ආයතනය
05. ආර්.බී. රසික තුසිත කුමාර මහතා – දේශගුණික කෘෂිකාර්මික සම්බන්ධීකාරක/ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්ක පරිසර හිතකාමී කෘෂිකාර්මික පුහුණු උපදේශක
06. ආචාර්ය බී.කේ.ජේ. කාවන්තිස්ස මහතා – ප්‍රධාන විධායක අධ්‍යක්ෂ, “සියපත” ජාත්‍යන්තර අධ්‍යාපන හා පුහුණු කිරීමේ ආයතනය (පුද්ගලික) සමාගම
07. සමන්ත ප්‍රනාන්දු මහතා – කාන්ගර හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම
08. සමුදිත කුමාරසිංහ මහතා – ලංකා බයෝ ෆර්ටිලයිසර්ස් පුද්ගලික සමාගම
09. අජිත් රන්දුනු මහතා – ග්‍රීන් ෆොර්ස් ඇග්‍රිකල්චර් පුද්ගලික සමාගම
10. එන්.එම්. කලීඩ් මහතා – ලංකා නේචර් පවර් පුද්ගලික සමාගම
11. ශම්මි කිරින්දේ මහතා – බයෝ ෆුඩ්ස් පුද්ගලික සමාගම
12. නිර්මලා කරව්ගොඩ මහත්මිය – හයිසොන්ග් ඕඑන්බී පුද්ගලික සමාගම
13. චමින්ද හෙට්ටිකන්කානම්ගේ මහතා – ආර්.කේ.ජී. බයෝ ග්‍රීන් ෆාර්ම්
14. නිශාන් ද සිල්වා මහතා – ලෝරන්ස් ලික්විඩ් ෆර්ටිලයිසර්

හරිත කෘෂිකර්මය තිරසරව පවත්වා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම, විවිධ භෝගයන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනාගැනීම හා එම පොහොර නිෂ්පාදනය දියුණු කිරීම, කෘමි නාශක හා වල්නාශක දේශීයව නිෂ්පාදනය කිරීම, දේශීය නිෂ්පාදන මගින් අවශ්‍යතා සැපිරීමේ දී ඇතිවිය හැකි හිඟයන් උසස් ප්‍රමිතියෙන් හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතීන් යටතේ සීමිත ලෙස ආනයනය කිරීමේ ක්‍රමවේදයන් හා අධීක්ෂණ ක්‍රියා හඳුනාගැනීම, කාබනික ආහාර නිෂ්පාදනය හා පාරිභෝජනයේ සෞඛ්‍ය, සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ජනගත කිරීමේ සන්නිවේදන කටයුතු ප්‍රචලිත කිරීම සහ මෙම ක්‍රියාවලිය සඳහා රාජ්‍ය සේවයේ සක්‍රීය දායකත්වය ලබාගැනීම හා ක්ෂේත්‍ර මට්ටමෙන් කාබනික කෘෂිකර්ම ව්‍යාප්ත සේවා පුළුල් කිරීමේ වගකීම මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් වෙත පැවරේ.

තවද, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය සහ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බව හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට මෙම ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා නියම කර ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *