8 September 2024
#දේශීය

ETF අරමුදලේ මුදල් ප්‍රේෂණ පෙබරවාරි 01 සිට online ක්‍රමයට පමණයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 28ක් සාමාජිකත්වය දරණ සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට (ETF) දායකත්ව මුදල්‌ ප්‍රේෂණය කිරීම 2023 වසරේ පෙබරවාරි මස 01 දා සිට ක්‍රියාත්මක පරිදි මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

සේවකයන් 15 දෙනෙකුට වඩා සේවය කරන ආයතනවල සේවා යෝජකයන් අදාළ ගෙවීම සිදු කිරීම සහ මාසික වාර්තා ඉදිරිපත් කිරීම ද මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම ක්‍රමවේදය ඔස්සේ සේව්‍ය පාර්ශ්වයට වඩාත් පහසුවෙන් සිය සේවකයන්ගේ දායකත්ව මුදල් සේවා ස්ථානයේ සිට ම ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබෙන අතර සේවක පාර්ශ්වයට ද දායකත්ව මුදල් ආයතනය විසින් ගෙවා ඇති බව තහවුරු කර ගත හැකි ය.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ මුදල් ප්‍රේෂණය වන ආකාරය පිළිබඳ කෙටි පණිවිඩ මගින් සේවකයන්ට දැන ගැනීමේ අවස්ථාව නුදුරේ දී ලබා දීමට ද කටයුතු කරන බවයි. දැනටමත් බහුතරයක් ආයතන මෙම මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ සිය සේවාවන් ලබා ගන්නා අතර ඉතිරි ආයතන ද ඊට අනුගත කරවා ගැනීම මෙම තීරණයේ අරමුණ බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *