යුරෝ කලාපයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේදී අනපේක්ෂිත ලෙස සංකෝචනය වී ඇති බව අද (23) නිකුත් වූ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ඉල්ලුම පහත වැටීම මෙලෙස ආර්ථිකය පසුබෑමට ප්‍රධාන හේතු වී තිබේ.
අද නිකුත් වූ පිරික්සුම් දර්ශකයන්ට (PMI) අනුව, සේවා අංශය සඳහා පවතින ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, එය ව්‍යාපාරික විශ්වාසය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කර ඇත. කෙසේ වෙතත්, සේවා අංශයේ මෙම පසුබෑමට ප්‍රතිවිරුද්ධව නිෂ්පාදන අංශයේ (Manufacturing) යම් වර්ධනයක් අනපේක්ෂිත ලෙස වාර්තා වී තිබීම විශේෂත්වයකි. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් බලශක්ති පිරිවැය සහ මෙහෙයුම් වියදම් ඉහළ යාම යුරෝපා කලාපයේ ආර්ථික පුනර්ජීවනයට දැඩි බාධාවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














