මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන ප්‍රධාන රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ‘ෆිල්ගැස්ටින්’ (Filgrastim) එන්නත දැඩි ලෙස හිඟවීම නිසා පිළිකා රෝගීන්ගේ කීමෝතෙරපි ප්‍රතිකාර කටයුතු බරපතල අර්බුදයකට මුහුණ දී තිබේ. ආනයනය කරන ලද එන්නත් තොගයක බහාලුම්වල නිසි ලෙස ලේබල් අලවා තිබුණද, අභ්‍යන්තර සිරින්ජර් මත ලේබල් නොමැති වීම නීතිමය සහ තාක්ෂණික ගැටළුවක් ලෙස සලකමින් වෛද්‍ය සැපයුම් අංශය විසින් එම එන්නත් තොගය රෝහල් වෙත නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර, මේ වන විට පෞද්ගලික අංශය සතුවද අදාළ ඖෂධය සම්පූර්ණයෙන්ම අවසන් වී තිබීම තත්ත්වය තවත් උග්‍ර අතට හැරවීමට හේතු වී ඇත.
රට තුළ පවතින ඖෂධ නියාමන හා සැපයුම් දාමයේ දුර්වලතා සහ පරිපාලනමය ගැටළු හමුවේ මෙවැනි ජීවිතාරක්ෂක ඖෂධ අඛණ්ඩව සැපයීම අඩාල වීම රෝගීන්ගේ මූලික මානව අයිතිවාසිකම් සහ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළු මතු කර තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අතර පැවති විශේෂ සාකච්ඡා වලදීද මෙම අර්බුදය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇති අතර, අදාළ සැපයුම්කාර සමාගම විසින් නව එන්නත් තොගයක් ගෙන්වීම සඳහා සති තුනක කාලයක් ගත වන බවට ලියාපදිංචි කර තිබීම රෝගීන්ගේ ජීවිත අවදානම තීව්‍ර කර ඇත.
මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස ලබන සතිය ඇතුළත ගුවන් මාර්ගයෙන් නව එන්නත් මාත්‍රා 15,000 ක් රටට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට පියවර ගනිමින් සිටියද, අනාගතයේදී මෙවැනි තස්නකාරී තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා ඖෂධ නියාමන ක්‍රියාවලිය විධිමත් කිරීමේ සහ සැපයුම් දාමය ස්ථාවර කිරීමේ ජාතික අවශ්‍යතාවය මෙම සිදුවීම මගින් දැඩිව අවධාරණය කරනු ලබයි. පිළිකා රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්වන මෙවැනි තත්ත්වයන් යළි ඇති නොවනු පිණිස අදාළ ආයතන වගකීමෙන් යුතුව කටයුතු කිරීම සහ කඩිනම් නියාමන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම රෝගී අපේක්ෂාව වී තිබේ.
















