ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර පවතින ආයතනික මතභේද සහ දැඩි නොසැලකිලිමත්කම හේතුවෙන්, විදේශීය ණය වාරිකයක් ගෙවීමේදී රජය සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හෙවත් දේශීය මුදලින් රුපියල් කෝටි 75ක (රුපියල් කෝටි 100කට ආසන්න) අතිවිශාල මහජන ධනස්කන්ධයක් වංචනිකයන් විසින් ඕස්ට්‍රේලියානු ගිණුමකට බැහැර කිරීමේ මහා මූල්‍ය මංකොල්ලය පිළිබඳව ‘Free Lawyers’ නීතිඥ සංවිධානය විසින් සකස් කරන ලද විශේෂ විමර්ශනාත්මක වාර්තාවක් අද දින (ජූනි 13) නිල වශයෙන් මාධ්‍ය වෙත මුදාහැර තිබේ. “කිසිවෙකුටත් වගකීමෙන් පැන යාමට ඉඩ දිය යුතු නැත” යන තේමාව යටතේ නිකුත් කර ඇති මෙම වාර්තාව මඟින්, අදාළ මහා පරිමාණ වංචාව සිදුවී මාස 8කට වඩා වැඩි කාලයක් ගතවී තිබියදීත්, වගකිවයුතු ආයතන විසින් තොරතුරු වෙනස් කිරීමට, කල් ගැනීමට සහ තොරතුරු සැඟවීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හරහා කාලය කා දමමින් නාටකීය රංගනයක නිරත වන බවට ඉතා බරපතල චෝදනාවක් එල්ල කර ඇත.
නීතිඥ සංවිධානය පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි කොන්දේසි මත, මෙතෙක් කල් මහ බැංකුව විසින් සිදුකළ රජයේ ණය කළමනාකරණය කිරීමේ කටයුතු, මහා භාණ්ඩාගාරය යටතේ අලුතින්ම පිහිටුවන ලද ‘රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය’ වෙත පැවරීමේ සංක්‍රාන්ති සමයේදී මෙම මාරක වංචාව සිදුව ඇති බවයි. රජය ලබාගෙන ඇති විදේශ සහ දේශීය ණය නිසි කලට, නිවැරදි පාර්ශ්වයන් වෙත ආපසු ගෙවීමේ රාජකාරිය මෙලෙස ආයතන දෙක අතර හුවමාරු වන මොහොතේදී, නිසි පාලන ක්‍රමවේද අනුගමනය නොකිරීම සහ ආයතනික ගැටුම් හේතුවෙන් වංචනිකයන් ඉතා සූක්ෂ්ම ලෙස මෙම රුපියල් කෝටි 75ක මුදල විදේශ ගිණුම් වෙත හරවාගෙන තිබේ. මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව පාලන තන්ත්‍රයේ පවතින බරපතළම දූෂණයේ ප්‍රතිඵලයක් බවත්, මෙම සිදුවීමත් සමඟ එක් උසස් නිලධාරියෙකුගේ ජීවිතය පවා අහිමි වීමේ (Loss of an official’s life) ඛේදවාචකයක් හටගෙන ඇති බැවින්, මීළඟ පාර්ලිමේන්තු දිනයේදී හෝ මේ පිළිබඳ පූර්ණ නිල වාර්තාව සභාගත කරන ලෙස ‘Free Lawyers’ සංවිධානය ව්‍යවස්ථාදායකයට දැඩිව බලකර සිටියි.
















