ගොකරැල්ල පොලිස් වසමට අයත් පොල්ගොල්ල පිරිවෙන ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී ඊයේ (19) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක් බරපතල තුවාල ලබා තිබේ. මාර්ගයේ ගමන් කරමින් තිබූ මිට්සුබිෂි පජෙරෝ iO (Pajero iO) වර්ගයේ රථයක් එක්වරම මාර්ගය මැදින් ආපසු හැරවීමට (U-Turn) උත්සාහ කිරීමේදී, පසුපසින් පැමිණි යතුරුපැදිය එම රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකාරිය වහාම පොල්ගොල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇයගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. පජෙරෝ රථයේ රියදුරාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට සෘජුවම හේතු වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පජෙරෝ රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. මාර්ගයේ වාහන හැරවීමේදී නිසි සංඥා භාවිතා නොකිරීම සහ අවට වාහන පිළිබඳ සැලකිලිමත් නොවීම මෙවැනි අනතුරු සඳහා ප්‍රධාන හේතුවක් වන බව පොලිසිය නැවතත් රියදුරන්ට මතක් කර සිටියි.














