ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200 ඉසව්ව තත්පර 20කට වඩා අඩු කාලයකින් නිම කරමින් ලොව මවිත කිරීමට යොවුන් ක්‍රීඩක ගවුට් ගවුට් (Gout Gout) සමත්ව තිබේ. එහිදී ඔහු මීටර් 200 ඉසව්ව තත්පර 19.67 කින් නිම කරමින් පිට පිටම දෙවැනි වරටත් ඕස්ට්‍රේලියානු මීටර් 200 ශූරතාව දිනා ගැනීමට සමත් විය.
මෙම සුවිශේෂී දක්ෂතාවත් සමඟ ඔහු සුපිරි ධාවන ශූර උසෙන් බෝල්ට් සහ එරියන් නයිටන් සතු කර තිබූ වයස අවුරුදු 20න් පහළ (Under 20) ලෝක වාර්තාව බිඳ දමමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. මෙම තරගයේදීම ඒඩ්න් මර්ෆි (Aidan Murphy) ද තත්පර 19.88 කින් තරගය නිම කළ අතර, ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 200 ඉසව්වක වාර්තා වූ වේගවත්ම කාලයන් දෙක සටහන් කිරීම ද විශේෂත්වයකි.
ගවුට් ගවුට් තත්පර 20 සීමාව (Sub-20 barrier) පසුකළ ලොව ලාබාලතම ක්‍රීඩකයෙකු ලෙස ද ඉතිහාසයට එක් වූ අතර, මලල ක්‍රීඩා විචාරකයින් පවසන්නේ උසෙන් බෝල්ට්ගෙන් පසු ලෝක මලල ක්‍රීඩා පිටියට බිහි වූ සුවිශේෂීම දක්ෂතාව මොහු බවයි.














