මෙරටට බොරතෙල් බැරලයක් ඩොලර් 286 ක මුදලකට මිලදී ගත් බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අද (17) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද මාර්තු 11 වනදා මෙරටට පැමිණි බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.99ක් වූ අතර අද දින පැමිණීමට නියමිත බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.99ක් බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හමුවේ පසුගිය මාර්තු 31 වනදා මෙරටට ගෙන්වූ ඩීසල් බැරලයක් ඩොලර් 285.28කට ද, අප්‍රේල් 07 වනදා පැමිණි සුපර් ඩීසල් බැරලයක් ඩොලර් 303.77ක් වැනි ඉහළ මිලකට ද මිලදී ගැනීමට සංස්ථාවට සිදුවූ බව සභාපතිවරයා මෙහිදී තහවුරු කළේය. HSBC බැංකුවේ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කිරීමෙන් මෙම මතය නිර්මාණය වී ඇති බවත්, ඉහළ මිලකට හෝ ඉන්ධන මිලදී නොගත්තේ නම් රට තුළ සැපයුම අඩාල වීමේ අවදානමක් පැවති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














