ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට රිංගාගත් හැකර්වරුන් පිරිසක්, ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකයක් වංචනික ලෙස වෙනත් ගිණුම් වෙත හරවා යවා ඇති බව රහස් පරීක්ෂකයන් විසින් අනාවරණය කරගෙන තිබේ. ඉතා සූක්ෂම ලෙස නිලධාරීන්ගේ ඊමේල් ගිණුම් හැක් කරමින් සිදුකළ මෙම මංකොල්ලයේ මුදල්වලින් කොටසක්, ඇමෙරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බැංකු ගිණුමක සඟවා තිබියදී මේ වන විට සොයාගෙන ඇත. මෙම ජාත්‍යන්තර මූල්‍ය අපරාධය හඹා යාම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් FBI සහ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ සහාය ලබාගෙන විමර්ශන පුළුල් කර තිබේ.
මෙම මූල්‍ය ඛේදවාචකයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය තුළ පවතින බරපතළ අනාරක්ෂිතභාවය බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) හෙළි විය. මහා භාණ්ඩාගාරයේ විදේශ ණය ගෙවීමේ ක්‍රියාවලිය කිසිදු භෞතික අත්සනකින් තොරව සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කර ඇති අතර, එම සියලු ගෙවීම් අනුමත කිරීමේ අසීමිත තනි බලය එක් නිලධාරියෙකුට පමණක් පවරා තිබීම මෙවැනි මංකොල්ලයකට මග පාදා ඇත. මීට පෙර පැවති දෙපාර්තමේන්තු කිහිපයක නිරීක්ෂණ සහිත ක්‍රමවේදය වෙනුවට වගකීම් සියල්ල එක තැනකට කේන්ද්‍ර කිරීම නිසා මෙම අතිශය අවදානම් සහගත තත්ත්වය නිර්මාණය වී ඇති බවයි එහිදී පෙන්වා දුන්නේ.
වඩාත් කම්පනයට කරුණ වන්නේ 2026 ජනවාරි මාසයේ ඉන්දියාවට කළ යුතු ණය ගෙවීමක් සම්බන්ධයෙන් ද මෙවැනිම සැකකටයුතු සයිබර් ක්‍රියාකාරකමක් ගැන පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් බලධාරීන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීමයි. රටක් ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවක පසුවන මොහොතක, මහජනතාවගේ රුධිරය බඳු ජාතික ධනය සයිබර් අවකාශයේ මෙලෙස අතුරුදන් වී යාම හුදු “තාක්ෂණික අත්වැරැද්දක්” ලෙස සලකා බලධාරීන්ට මින් නිදහස් විය නොහැක. පද්ධතියේ සිදුරු වසා දැමීමට කටයුතු නොකිරීම නිසා අහිමි වූ මෙම මහජන ධනය සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් පැවතිය යුතු කාලය එළඹ ඇත














