ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය තුළ නව මානයක් ඇති කරමින්, හදවතින්ම කරුණාවන්ත වෛද්‍යවරුන් බිහි කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරනවා. වෛද්‍ය අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම වෙනුවෙන් පත් කළ විශේෂඥ කමිටුවේ සමාරම්භක රැස්වීමට එක්වෙමින් අගමැතිනිය මේ බව සඳහන් කළා.
ජාතික සෞඛ්‍ය අවශ්‍යතාවන්ට අනුකූලව වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම මෙම කමිටුවේ වගකීමයි. එහිදී වෛද්‍ය අධ්‍යාපනයේ පවතින ගැටලු හඳුනා ගැනීම, කෙටි කාලීන සහ තිරසාර විසඳුම් යෝජනා කිරීම මෙන්ම මහජන යහපත උදෙසා සෘජුවම බලපාන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම කෙරෙහි මූලික අවධානය යොමු කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ පහත සඳහන් ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ ප්‍රතිපත්තිමය අවධානයක් යොමු කළ යුතු බවයි:
විෂය මාලා ප්‍රතිසංස්කරණ සහ ඇගයීම් ක්‍රියාවලීන්
සායනික පුහුණුව සහ වෛද්‍ය පර්යේෂණ
පීඨ කාර්ය මණ්ඩල පහසුකම් සහ යටිතල පහසුකම් සංවර්ධනය
මීට අමතරව, වෛද්‍ය පාඨමාලා තෝරා ගන්නා සිසුන් දැනුවත් කිරීමේ යාන්ත්‍රණ හඳුන්වා දීමේ වැදගත්කම ද ඇය පෙන්වා දුන්නා. නූතන ලෝකයේ ඉල්ලුමට ගැලපෙන, විනයගරුක සහ මානුෂීය වෛද්‍යවරුන් බිහි කිරීම සඳහා පාසල් සහ උසස් අධ්‍යාපන පද්ධති තුළ සිදුවිය යුතු වෙනස්කම්වල අවශ්‍යතාව ද අගමැතිනිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
















