ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙදින ඊශ්‍රායල සංචාරය නිම කරමින් දෙරට අතර ආරක්ෂක, තාක්ෂණික සහ ආර්ථික සබඳතා නව මානයකට ගෙන යාම සඳහා ප්‍රබල එකඟතාවන් රැසකට එළඹ ඇති අතර එහි වඩාත්ම සුවිශේෂී ප්‍රකාශය වූයේ දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීමට නායකයින් දෙපළ එකඟ වීමයි. මෙම සංචාරයේදී සයිබර් ආරක්ෂාව, අභ්‍යවකාශ ගවේෂණය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය සහ කෘතිම බුද්ධිය වැනි ක්ෂේත්‍ර රැසකට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් තැබුණු අතර ඉදිරි වසර පහ තුළ තවත් ඉන්දියානු සේවකයින් 50,000 ක් ඊශ්‍රායලයේ සේවය සඳහා බඳවා ගැනීමට ද ඊශ්‍රායල රජය පොරොන්දු වී තිබේ. මීට අමතරව ඉන්දියාවේ ප්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන UPI ඊශ්‍රායලය දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති අතර එමඟින් දෙරට අතර මූල්‍ය සහයෝගීතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. ත්‍රස්තවාදය සහ දේශසීමා ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දුටු නායකයෝ ගාසා තීරය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සාම සැලැස්ම ද මෙහිදී අගය කළහ. මෙම නව සබඳතාව හරහා ආසියානු සහ මැදපෙරදිග කලාපයේ භූ-දේශපාලනික තත්ත්වයන් කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල වනු ඇතැයි විදේශ දේශපාලන විචාරකයෝ මත පළ කරති.














