ඉන්දුනීසියානු සන්නද්ධ හමුදාවල මහජන භූමිකාව ව්‍යාප්ත කිරීමට එරෙහිව හඬ නැගූ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව මත හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව එරට හමුදා අධිකරණය හමුවේ බදාදා නඩු පවරන ලදී. මෙහිදී හමුදා අභිචෝදකයින් විසින් එම නිලධාරීන් සඳහා වසර 12ක උපරිම සිරදඬුවමක් ඉල්ලා සිටිනු ලැබීය.
මෙම ප්‍රහාරයට ලක්වූයේ ‘KontraS’ නමින් හැඳින්වෙන අතුරුදන් වූවන් සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් පිළිබඳ කොමිසමේ නියෝජ්‍ය සම්බන්ධීකාරක ඇන්ඩ්‍රි යුනුස් (Andrie Yunus) මහතායි. පසුගිය මාර්තු 12 වැනිදා යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් එල්ල කරන ලද මෙම ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ මුහුණ සහ ශරීරයෙන් 20%ක් පමණ පිළිස්සීම්වලට ලක්ව තිබේ. හමුදාවේ මැදිහත්වීම්වලට එරෙහිව විරෝධය පෑම හේතුවෙන් මොහු මෙම ප්‍රහාරයට ඉලක්ක වූ බවට සැකකෙරේ. මෙම සිදුවීමට පුද්ගලයන් 14 දෙනෙකු සම්බන්ධ බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරන අතර, සෙසු පිරිසට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.















