ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) නිල සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් නුවර බලා පැමිණෙන බව රුසියානු විදේශ අමාත්‍යාංශය අද (26) තහවුරු කළේය. කලාපීය ආරක්ෂාව සහ මැදපෙරදිග පවතින උණුසුම් දේශපාලන තත්ත්වය හමුවේ මෙම සංචාරය ඉතා තීරණාත්මක එකක් ලෙස සැලකේ.
ඉරාන මාධ්‍ය වාර්තා කරන පරිදි, විදේශ අමාත්‍යවරයා හෙට (27) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී විශේෂ සාකච්ඡාවල නිරත වීමට නියමිතය. මෙහිදී කලාපීය ආරක්ෂාව, සටන් විරාම සාකච්ඡා සහ වර්තමාන මැදපෙරදිග අර්බුදය පිළිබඳව නායකයින් දෙපළගේ අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙර පාකිස්ථානයේ සහ ඕමානයේ සංචාරය කළ අරග්චි මහතාගේ මෙම රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම, කලාපීය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ ප්‍රයත්නයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.
රුසියාවේ ඉරාන තානාපති කාසෙම් ජලාලි සඳහන් කරන්නේ, ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වන සාකච්ඡාවල වත්මන් ප්‍රගතිය පිළිබඳව රුසියානු බලධාරීන් දැනුවත් කිරීම ද මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බවයි. ලෝක දේශපාලනයේ බලවතුන් අතර සබඳතා යළි සලකා බලන මොහොතක, ඉරානය සහ රුසියාව අතර පැවැත්වෙන මෙම ඉහළ පෙළේ හමුවීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.














