ගාසා තීරයේ අද (14) සිදු වූ ඊශ්‍රායල ගුවන් සහ වෙඩි ප්‍රහාරවලින් 10 හැවිරිදි පිරිමි දරුවෙකු සහ හමාස් පාලනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඇතුළු පලස්තීනුවන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය සහ පොලිස් බලධාරීහු ප්‍රකාශ කරති.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් පසුව ද ක්‍රියාත්මක වන මෙවැනි ප්‍රහාරවලින් මේ වන විට පලස්තීනුවන් 1,100කට අධික පිරිසක් මියගොස් තිබේ. අද දින දකුණු ගාසාවේ රෆා ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් 10 හැවිරිදි මුටාස් අබු ෂාර් (Muataz Abu Shaar) නමැති දරුවා මියගොස් ඇත.
මේ අතර උතුරු ගාසා තීරයේ ජබාලියා (Jabalia) හි පිහිටි හමාස් පොලිස් මුරපොලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජබාලියා පොලිස් ප්‍රධානී කර්නල් මොහොමඩ් මර්වාන් සලීම් (Mohammad Marwan Salem) ඇතුළු නිලධාරීන් සහ සිවිල් වැසියන් පිරිසක් මියගොස් තිබේ. හමාස් සංවිධානයේ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර ඔක්තෝබර් මාසයේ සිට ඉහළ දමා ඇත. මෙම ප්‍රහාර වාර්තා වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්මේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිළිබඳව කයිරෝ නුවරදී සාකච්ඡා පැවැත්වෙන පසුබිමකය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















