කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය අද (14) යළිත් සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දින නවය තුළ දූපතේ සිදුවූ තුන්වන ප්‍රධාන විදුලි බිඳවැටීම මෙය වන අතර, මෙම තත්ත්වය හේතුවෙන් මිලියන 10ක පමණ ජනතාවක් විදුලිය නොමැතිව පීඩාවට පත්ව සිටිති.
ඇමරිකාව විසින් කියුබාවට එරෙහිව පනවා ඇති තෙල් අවහිරතා සහ දැනටමත් අබලන්ව පවතින එරට විදුලි උත්පාදන පද්ධතිය මෙම බිඳවැටීමට ප්‍රධාන හේතුව වී තිබේ. 2026 ජනවාරි 03 වන දින වෙනිසියුලාවේ නිකලස් මදුරෝ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමෙන් අනතුරුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාවට දැඩි තෙල් සම්බාධක පැනවීය. මීට පෙර කියුබාවේ ප්‍රධාන තෙල් සැපයුම්කරු වූ වෙනිසියුලාවට අමතරව, ඇමරිකානු පීඩනය හේතුවෙන් මෙක්සිකෝවද කියුබාවට සිදුකළ තෙල් අපනයනය නතර කිරීම මෙම අර්බුදය උග්‍ර වීමට හේතු වී ඇත.
මෙම දිගුකාලීන විදුලි බිඳවැටීම් හේතුවෙන් කියුබාව තුළ සමාජ අසහනය ඉහළ ගොස් ඇති අතර, පසුගිය සතියේ හවානා නුවර ඇති වූ දීර්ඝ විදුලි බිඳවැටීමෙන් අනතුරුව ජනතාව වීථි බසිමින් විරෝධතාවල ද නිරත වූහ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















