කල්පිටිය, තලවිල මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන වියළි ඉඟුරු කිලෝග්රෑම් 1,189කට අධික තොගයක් ශ්රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ අද (13) වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම තොගය සොයාගත් බවයි.
එහිදී මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර 26ක් පරීක්ෂා කිරීමේදී වියළි ඉඟුරු තොගය හමුවී ඇත.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන පිරිසක් මෙම තොගය අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කර තිබේ.
අත්අඩංගුවට ගත් ඉඟුරු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානයට භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කර ඇත.
















