ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත රජය මධ්‍යසාර පාන වර්ග සඳහා වන සුරාබදු ක්‍රමයේ සිදුකළ සංශෝධනයක් හේතුවෙන් ලබන මැයි 01 වැනිදා සිට මත්පැන් මිල සියයට 20 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. සිද්ධරාමයියා මහතාගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂ රජය බලයට පත්වීමෙන් පසු මත්පැන් බදු ඉහළ දැමූ පස්වන අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.
මීට පෙර මත්පැන් මිල මත පදනම්ව බදු අය කළ ද, නව ක්‍රමය යටතේ බදු අය කරනු ලබන්නේ මධ්‍යසාරයේ අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය (ABV) පදනම් කරගනිමිනි. මේ හේතුවෙන් මධ්‍යසාර ප්‍රතිශතය වැඩි පාන වර්ගවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යන අතර, අඩු මධ්‍යසාර සහිත පාන වර්ගවල මිලෙහි විශාල වෙනසක් සිදු නොවන බව හෝ ඇතැම් විට මිල අඩුවිය හැකි බව ද සඳහන් වේ.
ඉන්දියානු නිෂ්පාදිත විදේශීය මත්පැන් (IMFL) බෝතලයක මිල සියයට 10ත් 20ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම නව බදු ක්‍රමය හරහා 2026–27 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් කෝටි 45,000 ක සුරාබදු ආදායමක් උපයා ගැනීම කර්ණාටක ප්‍රාන්ත රජයේ ඉලක්කය වී තිබේ. ලබන මැයි 01 වැනිදා සිට ප්‍රාන්තය පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් මෙම නව මිල ගණන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.














