පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර තණමල්විල ජල මාපක ස්ථානයේ ජල මට්ටම මේ වන විට “මහ ගංවතුර” තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මේ හේතුවෙන් කිරිඳිඔය සහ මැණික් ගඟ දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව මෙන්ම එම මාර්ග භාවිතා කරන රියදුරන් ද දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් පසුවිය යුතු බව එම මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු වීමට සූදානමින් සිටින ලෙසත්, බලධාරීන් ලබා දෙන උපදෙස් ඒ අයුරින්ම පිළිපදින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගංගා ආශ්‍රිතව දිය නෑමෙන් සහ මසුන් ඇල්ලීමෙන් වැළකී සිටීම වඩාත් ආරක්‍ෂිත බව ද වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.














