සමාජ මාධ්‍ය හරහා සංසරණය වන හඬපටයක් සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ. එම හඬපටය විකෘති කර සකස් කරන ලද එකක් බව අවධාරණය කරන ඒ මහතා, අදාළ හඬපටය 2026 මාර්තු 25 වන දින තමා සහ සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා මෙන්ම ගල් අඟුරු සැපයුම්කාර සමාගමක දේශීය නියෝජිතයෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක් බව හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කරයි.
හදිසි ගල් අඟුරු සැපයුම සඳහා කැබිනට් අනුමැතිය සහිතව තෝරාගත් සමාගමෙන්, බැංකුව විසින් නිකුත් කරන “කාර්ය සාධන ඇපකරය” (Performance Bond) නිසි දිනට ලබාදෙන ලෙස කළ දැනුම් දීමක් මෙලෙස විවිධ අර්ථ ගැන්වෙන අයුරින් විකෘති කර ප්‍රචාරය කරන බව සභාපතිවරයා පෙන්වා දෙයි. අදාළ ටෙන්ඩර් පටිපාටිය සහ ප්‍රසම්පාදන ක්‍රමවේදය නිසි ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බවත් සඳහන් කරන ඒ මහතා සමාජ මාධ්‍ය හරහා පැතිර යන මෙවැනි නොමඟ යවන සුළු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














